[12. ආයාචන වර්ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 12. 1.
13. මහණෙනි, සැදැහැති මහණ මෙසේ මොනොවට යදනේ සැරියුත් මුගලන් දෙදෙන යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවර හෙයින යත්:) මහණෙනි, යම් සැරියුත් මුගලන් දෙදෙනෙක් වෙත් නම්, මාගේ ශ්රාවක භික්ෂූන්ට තෙල තුලාව ය. තෙල ප්රමාණ ය යි.
2. 3. 12. 2.
14. මහණෙනි, සැදැහැති මෙහෙණ මෙසේ මොනොවට යදනී ඛේමා උප්පලවණ්ණා දෙනම යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛේමා හා උප්පලවණ්ණා හා යන දෙදෙන යම්සේ වෙත් නම්, මාගේ ශ්රාවිකා භික්ෂූණීන්ට තෙල තුලාව ය. තෙල ප්රමාණ ය යි.
2. 3. 12. 3.
15. මහණෙනි, සැදැහැති උපාසක මෙසේ මොනොවට යදනේ චිත්ත ගෘහපති හා හත්ථක ආළවක හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවරහෙයින යත්:) මහණෙනි, මේ චිත්ත ගෘහපති හා හත්ථක ආළවක තෙමේත් යම්සේ වෙත් නම් මාගේ ශ්රාවක උපාසකයන්ට තෙල තුලාව වේ, තෙල ප්රමාණය යි.
2. 3. 12. 4.
16. මහණෙනි, සැදැහැති උපාසිකාව මෙසේ මොනොවට යදනී ඛුජ්ජුත්තරාව උපාසිකාව හා වේළුකණ්ටකියා නන්දමාතාව හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාව ද වෙළුකණ්ටකීය නන්දමාතාව ද යන දෙදෙනෙක් වෙත් නම් මාගේ ශ්රාවිකා උපාසිකාවනට තෙල තුලාව වේ. තෙල ප්රමාණය යි.
2. 3. 12. 5.
17. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. සදොස් වූයේ ද නුවණැත්තන් ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නුගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, නොදැන නොපිවිස ගුණ කීමට සුදුස්සාගේ අගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 6.
18. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ සාරා නො දැමූ ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: දැන පිවිස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියා නම්, දැන පිවිස ගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම සාරා නො දමන ලද ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේ ය යි.