2. දුකනිපාතය
පඨමපණ්ණාසකය
1. වස්සූපනායිකා වර්‍ගය
2. 1. 1. 1.
වජ්ජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මේ වද්‍ය (අපරාධ) දෙකෙකි. කවර දෙකෙක යත්: දෘෂ්ටධර්‍මවිපාක ඇති අපරාධය හා පරලොව විපාක ඇති අපරාධ යි. මහණෙනි, ඉහාත්‍මයෙහි විපාක ඇති අපරාධය කවරේ ය යත්: මහණෙනි, මෙලොව රජවරු අපරාධ කරණ සොරු ගෙණ විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, වේවැලිනුදු තළත්, මුගුරිනුදු තළත්, අතුදු සිඳුති, අත් පා ද සිඳුති, කනුදු සිඳුති, නැහැය ද සිඳුති, කන් නාසා ද සිඳුති, බිලඞ්ගථාලික නම් වධය ද කරත්, සඞ්ඛමුණ්ඩික නම් වධය ද කරත්, රාහුමුඛ නම් වධය ද කරත්, ජෝතිමාලික නම් වධය ද කරත්, හත්‍ථපජ්ජෝතික නම් වධය ද කරත්,එරකවත්තික නම් වධය ද කරත්, චීරකවාසික නම් වධය ද කරත්, එණෙය්‍යක නම් වධය ද කරත්, බලිසමංසික නම් වධය ද කරත්, කහාපණක නම් වධය ද කරත්, ඛාරාපතච්ඡික නම් වධය ද කරත්, පලිඝපරිවත්‍තික නම් වධය ද කරත්, පලාලපිටඨික නම් වධය ද කරත්, කකියන තෙලිනුදු ඉසිත්, කීණ බල්ලන් ලා කවත්, දිවමනුහු හුල හිඳුවත්, අසිපතිනුදු හිස් සිඳුති. කිසිවෙක් තෙල සොරු දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: යම් බඳු පාපකර්‍මයන් හේතු කොට ගෙණ අපරාධකාරී සොරු ගෙණ රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කසවැලිනුදු තළත් ද, ... අසිපතිනුදු හිස් සිඳිත් ද, මම වැලිත් මෙ බඳු පව්කම් කරන්නෙම් නම්, රජදරුවෝ මයිදු ගෙණ මෙ බඳු විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, ... අසිපතිනුදු හිස සිඳිත් ය කියා යි. හෙ තෙම ඉහාත්මයෙහි වූ වරදට බියපත් වූයේ මෙරමාගේ භාණ්ඩ වොලොගන්මින් නො හැසිරෙයි මහණෙනි, මෙය දෘෂ්‍ටධාර්මිකවද්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, සමපරායිකවද්‍ය කවරේ ය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසිවෙක් මෙසේ නුවණින් සිතයි: ‘කායදුශ්චරිතයාගේ වනාහි පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක, වාග්දුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මම වැලිත් කයින් දුසිරිත කරන්නෙම් නම්, වචනයෙන් දුසිරිත කරන්නෙම් නම්, සිතින් දුසිරිත කරන්නෙම් නම්, යම්බඳු ඒ දුසිරිතින් මම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි නූපදින්නෙම් ද! කිම් ඒ නො වේදැයි. හේ පරලොව්හි වරදින් බියපත් වූයේ කායදුශ්‍චරිතය දුරැර කායසුචරිතය වඩයි. වාග්දුශ්‍චරිතය දුරැර වාක්සුචරිතය වඩයි. මනෝදුශ්‍චරිතය දුරැර මනස්සුචරිතය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ සම්පරායිකවද්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ වද්‍ය දෙක ය. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: ඉහාත්මවිපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. පරලොව විපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. වරදෙහි බිය දක්නා සුල්ලමෝ වද්‍යභීරුක වූවමෝ වන්නම්හ යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. මහණෙනි, සියලු වරදින් මිදෙන්නේය යන යමෙක් ඇද්ද, වරදට බිය වන සුලු වරදෙහි බිය දක්නා සුල්ලහු විසින් මෙය කැමැති විය යුතුයි.
2. 1. 1. 2.
පධාන සූත්‍රය
2. මහණෙනි, ලොව්හි දුකසේ පිරිය යුතු මේ (ප්‍රධාන) වීර්‍ය්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ගිහිගෙයි වසන ගිහියන්ගේ චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍ය - භෛෂජ්‍ය - පරිෂ්කාර දීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ ද, ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්‍ධ - ක්ලේශ - අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර ලීම වූ නිවණ පිණිස යම් වීර්‍ය්‍යයෙකුත් වේ ද (යන දෙකයි.) මහණෙනි, ලොව්හි දුෂ්කර වූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ ද්විවිධ වීර්‍ය්‍යයන් අතුරෙන් සියලු උපධීන් දුරලීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ නම්, තෙල අග්‍ර වේ. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: සියලු උපධීන් දුරලීම පිණිස වීර්‍ය්‍යය වඩන්නම්හ යි. මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.
2. 1. 1. 3.
තපනීය සූත්‍රය
3. මහණෙනි, මේ තපනීය (සිත් සතැවුලියෙන් තවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද වෙයි. කාය සුචරිතය නොකරණ ලද වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද වෙයි. වාක්සුචරිතය නොකරණ ලද වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද වෙයි. මනස්සුචරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් කායසුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය කරණ ලදැයි තැවෙයි. මා විසින් වාක්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් මනස්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මහණෙනි, මේ වනාහි තවන ධර්‍මයෝ දෙදෙන වෙති.
2. 1. 1. 4.
අතපනීය සූත්‍රය
4. මහණෙනි, මේ අතපනීය වූ (නොතවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද වෙයි. කායදුශ්චරිතය නොකරණ ලද වෙයි. වාක්සුචරිතය කරණ ලද වෙයි. වාග්දුශ්චරිතය නොකරණ ලද වෙයි. මනඃසුචරිතය කරණ ලද වෙයි. මනෝදුශ්චරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායසුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් කායදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාක්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනස්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මහණෙනි, මේ වනාහි අතපනීය (නොතවන) ධර්‍මයෝ දෙදෙනයි.