2. 1. 4. 7.
38. එකල්හි ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ මධුරායෙහි වූ ගුන්දාවනයෙහි වැඩ වසන සේක. එකල්හි කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එලඹ ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ හා සමග ... එකත් පසෙක හුන් කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කෙළේය:
භවත් කාත්යායනයෙනි, ශ්රමණ කාත්යායන තෙමේ ජරාජීර්ණ වූ වියඅතට ගිය දෑමහලු වූ කල් ගිය පශ්චිම වයසට පැමිණි බ්රාහ්මණයන් නොවඳනේය යි ද, දැක හුනස්නෙන් නොනැඟසිටුනේ යයි ද, අස්නෙන් නො අමතනේ යයි ද, යන මෙය මා විසින් අසන ලදී. භවත් කාත්යායනයෙනි, ඒ කාරණය එසේ ම ය. “භවත් කාත්යායන තෙමේ ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පශ්චිම වයසට පැමිණි බමුණන් නො වඳනේය. දැක හුනස්නෙන් ද නැඟ නොසිටුනේය. අස්නෙනුදු නො අමතනේ ය. භවත් කාත්යායනයෙනි, එ කරුණ නොනිසිමැය”යි.
බ්රාහ්මණය, භාග්යවත් වූ (සියලු දතයුතු දේ) දන්නා වූ (සියලු දැකිය යුතු දේ හස්තමාලකයක් සේ) දක්නා වූ අර්හත් වූ ඒ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලද වෘද්ධභූමියෙක් හා දහරභූමියෙක් හා ඇත. බ්රාහ්මණය, ඉදින් උත්පත්තියෙන් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක්වස් ඇති හෝ වෘද්ධයෙක් වේ නම් හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් වළඳ කෙරේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා ඉවස්නේ ද, කාමපරිළාහයෙන් දැවේ ද, කාමවිතර්කයන් විසින් කනු ලැබේ ද, කම්සුව පිරියෙස්ලියට උත්සාහවත් වූයේ ද, එකල්හි හෙ බාලයෙක යන සඞ්ඛ්යාවට ම යෙයි. බ්රාහ්මණය, ඉදින් තරුණ වූයේ මනා බොල් කළු කෙස් ඇත්තේ බහදුරු යොවුනින් සමනාවූයේ ප්රථම වයසින් යුක්ත දහරයෙක් හෝ වේ ද, හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් පරිභෝග නො කරනේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා නො ඉවස්නේ ද, කාමපරිදාහයෙන් නො දැවේ ද, කාමවිතර්කයන් විසින් නො කනු ලැබේ ද, කම්සුව පිරියෙස්නට උත්සාහවත් නො වේ ද, ‘එකල්හි හෙ තෙමේ පණ්ඩිත වූ ස්ථවිර නම’ යන සඞ්ඛ්යාවට ම යේ යි.
මෙසේ කී කල්හි කණ්ඩරායණ බ්රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොට ලා “වෘද්ධ වූ භවත්හු තුමූ වෘද්ධභූමියෙහි සිටියහ. දහර වූ අපි දහරභූමියෙහි සිටියමෝය” යි. තරුණ භික්ෂූන්ගේ පා (මෙසේ) සිරසින් වඳියි: භවත් කාත්යායනයෙනි, ඉතා මැනව ... භවත් කාත්යායන තෙමේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට මා රුස්නාසේක් වා යි.
2. 1. 4. 8.
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, යම් කලෙක්හි සොරු බලවත් වෙත් ද, රජවරු එසමයෙහි දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ පසල්දනව්වෙයි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු නො වෙයි. එසමයෙහි බමුණු ගැහැවියන් ට ද (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු නො වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පවිටු භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පේශල භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කර බහා හිඳුනාහ. පසල් දනවු හෝ ඇසුරු කරන්නාහ. මහණෙනි, මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ.
මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වෙත් ද, එසමයෙහි සොරු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ පසල් දනවුවෙහි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු වෙයි. එසමයෙහි බමුණු ගැහැවියනට ද (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පේශල භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පවිටු භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පවිටු භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කරබහා හිඳුනාහ. යම් මැ තැනෙක හෝ යෙත්. මහණෙනි, ඒ මේ කරුණ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස වේ.
2. 1. 4. 9.
40. මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්ණනා නො කරමි. මහණෙනි, වරදවා පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට නො හැකි වෙයි.
මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ නිවැරදි පිළිපැදුම වර්ණනා කරමි. මහණෙනි, නිවැරදි ව පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි නිවැරදි පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට හැකි වෙයි.
2. 1. 4. 10.
41. මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්රතිරූපක වූ (ශබ්දචින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස ද බොහෝ දෙනාට නොසුව පිණිස ද බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස ද දෙවිමිනිසුනට අහිත පිණිස ද දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.