4. සමචිත්ත වර්‍ගය
2. 1. 4. 1.
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, තොපට අසත්පුරුෂ භූමිය හා සත්පුරුෂ භූමිය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව. කියමි (වදාළහ.) වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අසත්පුරුෂ භූමිය කවර? මහණෙනි, අසත්පුරුෂ තෙමේ අකෘතඥ වෙයි, කෙළෙහිගුණ පාළකොට නො දන්නේ ද වෙයි. මහණෙනි, යම් මේ අකෘතඥ බවෙක් වේ ද, අකෘතවේදී බවෙක් වේ ද, මෙය අසත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, යම් අකෘතඥ බවෙක් අකෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ අසත්පුරුෂ භූමිය වෙයි.
මහණෙනි, සත්පුරුෂ භූමිය කවර? මහණෙනි, සත්පුරුෂ තෙමේ කෘතඥ වූයේ කෘතවේදී වූයේ වේ. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මෙය සත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, තෙල කෘතඥ බවෙක් කෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්‍ණ සත්පුරුෂ භූමිය මැයි.
2. 1. 4. 2.
33. මහණෙනි, මම මවට ද පියාට දැයි දෙදෙනාට ප්‍රත්‍යුපකාරය සුකරය යි නො කියමි. මහණෙනි, ශතවර්‍ෂායුෂ්ක වූ යමෙක් සියවස් ජීවත් වන්නේ එක් අංසයෙකින් මව පිළිදගින්නේ එක් අංසයෙකින් පියා පිළිදගින්නේ වේ ද, හේ ම ඔවුන්ගේ සිරුරු සුවඳ සුණු ඉළීමෙන් හා අත්පා පිරිමැදීමෙන් හා සිහිල්පැන් හුණුපැන් නෑවීමෙන් හා අඞ්ගසම්බාහනයෙන් හා උපස්ථාන කෙරේ ද, ඔහුත් ඒ අංසයෙහි ම හිඳ මල මුත්‍ර පහකරන්නාහු නම්, මහණෙනි, හේ එසේ ද වුව, මවුපියන්ට උපකාරයෙක් හෝ ප්‍රත්‍යුපකාරයෙක් හෝ නොවේ මැයි.
මහණෙනි, බොහෝ සත්රුවන් ඇති මේ මහා පෘථිවියෙහි මවු පියන් සක්විති රජයෙහි පිහිටුවන්නේ නමුදු, මහණෙනි, මවුපියන්ට උපකාර කරණ ලද්දේ හෝ ප්‍රත්‍යුපකාර කරණ ලද්දේ හෝ නො ම වෙයි. එයට හේතු කවරේය? මහණෙනි, මවුපියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. පුතුන් වඩන්නාහු පෝෂණය කරන්නාහු මේ ලෝකය දක්වනසුලු වෙති.
මහණෙනි, යමෙක් ශ්‍රද්ධා නැති මවුපියන් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද, මසුරුවූවන් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. දුෂ‍්ප්‍රාඥවූවන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවා ද, වසවා ද, පිහිටුවා ද. මහණෙනි, මෙතෙකින් මවුපියනට උපකාර කරණ ලද්දේත් ප්‍රත්‍යුපකාර කරණ ලද්දේත් අධික උපකාර කරණ ලද්දේත් වේ යයි.
2. 1. 4. 3.
34. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී ය ... එකත් පසෙක හුන් ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක් ද? කුමක් වදාරණ දැ ද?
[භගවත්හු:]
බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියවාදීත් වෙමි.
[බමුණු:]
කිසෙයින් භවත් ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදීත් අක්‍රියවාදීත් වන සේක් ද?
[භගවත්හු:]
බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේත් වාග්දුශ්චරිතයාගේත් මනෝදුශ්චරිතයාගේත් අක්‍රියාව (නො කිරීම) කියමි. නන්වැදෑරුම් ලාමක අකුශලධර්‍මයන්ගේ නොකිරීම කියමි. බ්‍රාහ්මණය, මම කායසුචරිතයාගේත් වාක්සුචරිතයාගේත් මනස්සුචරිතයාගේත් කිරීම කියමි. නන්වැදෑරුම් කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. බ්‍රාහ්මණය, මම මෙසේ වනාහි ක්‍රියාවාදිත් අක්‍රියාවාදීත් වෙමි.