2. 1. 4. 6.
37. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ වරණායෙහි කදදමදහතීරයෙහි වසන සේක. එකල්හි ආරාමදණ්ඩ බ්රාහ්මණ තෙමේ ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සම්මෝදනකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ආරාමදණ්ඩ බ්රාහ්මණ ආයුෂ්මත් මහාකාත්යායන ස්ථවිරයන් වහන්සේට මෙය කී ය.
භවත් කාත්යායනයෙනි, යම් හෙයෙකින් ක්ෂත්රියයෝ ද ක්ෂත්රියයන් හා සමග විවාද කෙරෙත් නම්, බ්රාහ්මණයෝ ද බ්රාහ්මණයන් හා සමග විවාද කෙරෙත් නම්, ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්රත්යය කවරේ ය?
[කසයින්තෙරහු:]
බ්රාහ්මණය, කාමරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුමය යන මේ හේතු කොට ගෙණ ම ක්ෂත්රියයෝ ද ක්ෂත්රියයන් හා සමග විවාද කෙරෙති. බ්රාහ්මණයෝ ද බ්රාහ්මණයන් හා සමග විවාද කෙරෙති. ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙති.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්යායනයෙනි, යම් හෙයෙකින් ශ්රමණයෝ ද ශ්රමණයන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්රත්යය කවරේ ය?
[කසයින්තෙරහු:]
බ්රාහ්මණය, දෘෂ්ටිරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුම ය යන මේ හේතු කොට ගෙණ ශ්රමණයෝ ද ශ්රමණයන් හා සමග විවාද කෙරෙත්.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්යායනයෙනි, යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වී ද, මේ දිට්ඨිරාගවිනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කිසිවෙක් ලෝකයෙහි ඇත් ද?
[කසයින්තෙරහු:]
බ්රාහ්මණය, ලෝකයෙහි යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූයේ ද, මේ දිටඨිරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කෙනෙක් ඇත.
[රුප්දඬුබමුණු:]
භවත් කාත්යායනයෙනි, යම් කෙනෙක් ලෝකයෙහි මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූ හු නම්, යම් කෙනෙක් මේ දිට්ඨිරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වූහු නම්, ඔහු කවරහ?
[කසයින්තෙරහු:]
බ්රාහ්මණය,පෙරදිග දනව්වෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි ඒ අර්හත් සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දැන් වැඩවසන සේක. බ්රාහ්මණය, ඒ භාග්යවතුන් වහන්සේ වනාහි මේ කාමරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්ය්යුත්ථාන අධ්යවසාය ඉක්ම වූ සේක. මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්ය්යුත්ථාන අධ්යවසාය ද ඉක්ම වූ සේකැ යි.
මෙසේ කී කල්හි ආරාමදණ්ඩ බ්රාහ්මණ හුනස්නෙන් නැගී සිට උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඩල පොළොවෙහි හැන භාග්යවතුන් වහන්සේ වසන දසට ඇඳිලි බැඳ යම් ඒ භාග්යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්ය්යුත්ථාන අධ්යවසාය ඉක්ම වූහු ද, මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්ය්යුත්ථාන අධ්යවසායයත් ද ඉක්ම වූහු ද ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා යි තෙවරක් උදන් ඇනී.