2. 1. 4. 3.
34. එකල්හි එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු වී ය ... එකත් පසෙක හුන් ඒ බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක් ද? කුමක් වදාරණ දැ ද?
[භගවත්හු:]
බ්රාහ්මණය, මම ක්රියාවාදීත් වෙමි, අක්රියවාදීත් වෙමි.
[බමුණු:]
කිසෙයින් භවත් ගෞතමයන් වහන්සේ ක්රියාවාදීත් අක්රියවාදීත් වන සේක් ද?
[භගවත්හු:]
බ්රාහ්මණය, මම කායදුශ්චරිතයාගේත් වාග්දුශ්චරිතයාගේත් මනෝදුශ්චරිතයාගේත් අක්රියාව (නො කිරීම) කියමි. නන්වැදෑරුම් ලාමක අකුශලධර්මයන්ගේ නොකිරීම කියමි. බ්රාහ්මණය, මම කායසුචරිතයාගේත් වාක්සුචරිතයාගේත් මනස්සුචරිතයාගේත් කිරීම කියමි. නන්වැදෑරුම් කුශලධර්මයන්ගේ කිරීම කියමි. බ්රාහ්මණය, මම මෙසේ වනාහි ක්රියාවාදිත් අක්රියාවාදීත් වෙමි.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ශරණ ගත් උපාසකයකු කොට මා රුස්නා සේක් වා යි.
2. 1. 4. 4.
35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ලෝකයෙහි දක්ෂිණාර්හයෝ කෙතෙක් ද? කො තැන්හි දන් දිය යුතු ද?
ගෘහපතිය, ලෝකයෙහි දක්ෂිණාවට සුදුස්සො දෙදෙනෙක් වෙති. ශෛක්ෂ තෙමේ ය, අශෛක්ෂ තෙමේ ය යන දෙදෙනා යි. ගෘහපතිය, ලෝකයෙහි මේ දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙන වෙත්. මොවුන් කෙරෙහි දන් දිය යුතු වේ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා ඉක්බිති සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගය ද වදාළසේක.
මේ ලෝකයෙහි ශෛක්ෂ තෙමේ ද අශෛක්ෂ තෙමේ ද යාග කරනුවනට ආහුනෙය්ය (ඇරැදෙන්නටඅර්හ) වෙති. ඔහු කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ඍජු වෙති. යාග කරන්නන්හට එය කෙත වෙයි මෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
2. 1. 4. 5.
36. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඇවැත් මහණෙනි යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ තෙල සූත්රය දෙසූහ:
ඇවැත්නි, අධ්යාත්මසංයෝජන ඇති පුද්ගලයා හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා හා දෙසමි. එය අසව මොනොවට මෙනෙහි කරව. දෙසමි යී. ඇවැත්නි, එසේ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, අධ්යාත්මසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙන් මහණ තෙමේ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සමන්වාගතවූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වෙසෙයි. අල්පමාත්ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් මොනොවට ගෙන හික්මෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි හේ එයින් ච්යුතවූයේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන්නේ වෙයි. ඇවැත්නි, මෙ තෙමේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන අධ්යාත්මසංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.