11. 2. 8.
පඨම සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසඥා ඇති නො වේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස් සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා ඇති නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණ හට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
මහණෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොවේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට එ බඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොමැති වේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත සිතින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි: ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. මහණෙනි, මෙසේ යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ද ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
11. 2. 9.
දුතිය සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?