2. අනුස්සති වර්‍ගය
11. 2. 1.
මහානාම සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි බොහෝ වහන් දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ” යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ. මහානාම ශාක්‍ය තෙමේ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන් දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි ඇසුයේ ය. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි තෙල පුවත මා විසින් අසන ලදී, වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.
මහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහානාමයෙනි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.
මහානාමයෙනි, සැදැහැතියේම ආරාධක වෙයි, සැදැහැ නැතියේ නො වෙයි, ආරද්ධවීර්‍ය්‍ය වූයේ ම ආරාධක වෙයි, කුසීතයා නො වේ. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහි ඇතියේ නො වේ. (උපචාරාර්‍පණවිසින්) එකඟ සිත් ඇතියේ ම ආරාධක වෙයි, අසමාහිතයා නොවේ. (විදර්‍ශනා මාර්‍ග ප්‍රඥායෙන්) පැණැතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ නො වේ. මහානාමයෙනි, තෝ මෙ පඤ්චධර්‍මයන්හි පිහිටා මතුයෙහි ෂඩ් ධර්‍ම කෙනෙකුන් වඩන්නෙහි.
මහානාමයෙනි, තෝ මෙ විසාහි ‘මෙ කරුණිනිදු’ ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධහ, භගවත්හ’යි තථාගතයන් (ගුණ විසින්) සිහිකරන්නෙහි.
මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් සිහි කෙරේද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරැබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිත් ඇති අරීසවු අර්‍ත්‍ථකථා නිඃශ්‍රිත ප්‍රීති ප්‍රමෝදය ලබයි (පෙළදම් නිසා උපදනා) ධර්‍ම වේදය ලබයි. ධමෝපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. පිනාගිය සිතැත්තහුගේ නාමකාය හා කරජකායය සංහිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය විඳී. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි, මහානාමයෙනි, මෙ අරීසවු (රාග, ද්වේෂ, මෝහයෙන්) විෂමගත සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපශමයට පැමිණියේ වාසය කෙරේ යි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතයට පැමිණියේ බුද්ධානුස්මෘතිය වඩනේ යි ද කියනු ලැබේ.
තවද, මහානාමයෙනි, තෙපි “භාග්‍යවතුන් වහන්සේ විසින් (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුත්තේ ය”යි ධර්‍ම සිහි කරවු, මහානාමයෙනි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහි කෙරේ ද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි, ද්වේෂයෙන් මඩනා ලද සිත් නො වෙයි, මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත ධර්‍මය ඇරැබැ ඉඳුරා ගියේ ම වෙයි, මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදයි, ප්‍රීති යුක්ත සිත් ඇතියහුගේ (ද්විවිධ) කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජාක්ඛ්‍ය සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපමශයට පැමිණියේ වාසය කෙරේ යයි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යයි ද, ධර්‍මශ්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
තව ද මහානාමයෙනි, තෙපි භාග්‍යවත්හුගේ (අෂ්ටාර්‍ය්‍ය පුද්ගලසඞ්ඛ්‍යාත) ශ්‍රාවක සඞ්ඝ තෙම සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම ඍජු ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම න්‍යාය ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම සාමීචිප්‍රතිපන්න ය, යම් බඳු සතර පුරුෂ යුග කෙනෙක් අෂ්ටපුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි සඞ්ඝයා සිහි කරවු.