11. 2. 7.
ගෝපාලක සූත්‍රය
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්‍ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම) තීර්‍ත්‍ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට, විරූඪියට, වෛපුල්‍යයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ (මහාභූතරූප, උපාදායරූප විසින්) රූපඥ නො වෙයි, (බාලලක්‍ෂණ, පණ්ඩිත ලක්‍ෂණ විසින්) ලක්‍ෂණ කුශල නොවෙයි, (කාමවිතර්‍කාදී) මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි, (ඉන්‍ද්‍රිය සංවර සංඞ්ඛ්‍යාත) ව්‍රණ ප්‍රතිච්ඡාදන නො කරනුයේ වෙයි, (ධර්‍මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වෙයි, (බහුශ්‍රුත ස්ථවිර සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථ නො දන්නේ වෙයි, (ධර්මොපසංහිත ප්‍රමෝද සඞ්ඛ්‍යාත) පීතය නොදන්නේ ය, (අරීඅටඟිමග නැමැති) වීථිය නො දන්නේ ය, (සතිපට්ඨාන සඞ්ඛ්‍යාත) ගෝචර කුශල නොවේ, (ප්‍රතිග්‍රහණයෙහි මාත්‍රඥතා සඞ්ඛ්‍යාත) මාත්‍ර නොදන්නා හෙයින් අනවසේස ද්‍රෝහී ද වෙයි, චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත, සඞ්ඝපීතෘ, සඞ්ඝපරිනේතෘ වූ යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි.
1. මහණෙනි, මහණ කෙසේ රූපඥ නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතර මහා භූතය, සතරමහා භූතයන්ගේ උපාදාය රූපයයි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ රූපඥ නොවේ.
2. මහණෙනි, මහණ කෙසේ ලක්‍ෂණයන්හි කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාල තෙමේ කර්‍ම ලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිත තෙමේ කර්‍මලක්‍ෂණ කොට ඇත්තේය’යි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණ කුශල නො වේ.
3. මහණෙනි, කෙසේ මහණ (කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත) මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් ව්‍යාපාද විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් විහිංසා විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපනුපන් ලමු අකුසල් දහම් ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ.