11. 2. 6.
අට්ඨකනාගර සූත්‍රය
එක්සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ විසාලා නුවර බේලුව ගම්හි වාස කරත්. එකල්හි අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරණී හේතුයෙන් පාටලීපුත්‍රයට අනුප්‍රාප්ත වෙයි. ඉක්බිති අට්ඨක නගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි අන්‍යතර මහණකු කරා එළඹියේ ය. එළඹ එ මහණහට තෙල සැලකළේය: වහන්ස, මෙ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොහි වාස කෙරෙත් ද, වහන්ස, අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දක්නා කැමැතියම්හ”යි. ගැහැවියෙනි, තෙල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වේසාලියෙහි බේලුව ගම්හි වාස තෙරෙති යි.
ඉක්බිති අට්ඨකනගර වැසි දසම ගැහැවි පාටලී පුත්‍රයෙහි එ කරණී නිමවා වේසාලියෙහි බේලුව ගම්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් අට්ඨකනගර වැසි දසම ගහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය:
වහන්ස, ආනන්‍දයෙනි, ආසයානුසය දන්නා ඥේය ධර්‍මය දක්නා අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ප්‍රහිතාත්ම ව වාසය කරන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂීණයට යෙත් නම්, නොපැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම් මොනොවට ප්‍රකාශ කරන ලද එ බඳු එක් ධර්‍මයෙක් ඇත්තේ දැ යි?
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක් හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිර්‍වාණය කෙරෙහි මෙහෙයූ සිත් ඇති වැ වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, පරික්‍ෂීණ නො වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම් නො පැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පිළිවෙළින් පැමිණේ නම්, ආසයානුසය දන්නා ඥේයධර්‍මය දක්නා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද එබඳු එක් ධර්‍මයෙක් ඇත් මැයි.
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන භික්‍ෂුහුගේ නොමිදුනා වූ හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වු හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත අනුත්තරයෝගක්‍ෂේමයට හෝ පැමිණේ නම්, දන්නා වූ දක්නා වු අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද ඒ ධර්‍මය කවරේ දැයි.
ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. හේ මෙසේ නුවණින් සිතයි, මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලදුයේ කල්පිත වේ. යම් කිසිවක් උපදවන ලද නම් කල්පිත නම් එය අනිත්‍යය නිරුද්ධ වන සැහැවි ඇතියේ යයි දන්නේ ය. හේ ඒ ශමථ විදර්‍ශනාධර්‍මයෙහි පිහිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම (ශමථ විදර්‍ශනා) ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එලොවින් පෙළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන භික්‍ෂූහුගේ නො මිදුණු හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, එබඳු මේ එකම ධර්‍මය ද දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ය.
ගැහැවියෙනි, තවද මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කරයි .... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි. හේ මෙසේ නුවණින් සලකන්නේ ය. මේ චතුර්‍ත්‍ථධ්‍යානය ද අභිසංස්කෘතය. අභිසඤ්චේතයිතය. යම් කිසිවක් අභිසංස්කෘත නම් අභිසඤ්චේතයිත නම් එය අනිත්‍යය, නිරෝධස්වභාව ඇතිය යී දන්නේ ය. හේ ඒ සමථවිදර්‍ශනා ධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණියේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධඔරම්භාගිය සඤ්ඤෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂූහුගේ නො මිදුණු සිත හෝ මිදේ නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එකම ධර්‍මය ද මොනොවට දෙසන ලදි.