11. 2. 5.
මෙත්තානිසංස සූත්රය
මහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්ථිත වූ පරිචිත වූ සුසමාරබද්ධ වූ මෛත්රී චිත්තවිමුක්ති පිළිබඳ එකොළොස් අනුසස් කෙනෙක් කැමැති විය යුතුවහ: කවර එකොළොස් දෙනෙක යත්:
සුවසේ හෝනේ ය. සුවසේ පුබුදනේ ය. ලාමක ස්වප්න නො දක්නේ ය. මිනිස්නට ප්රිය වන්නේ ය. නො මිනිස්නට ප්රිය වන්නේ ය. දෙවියෝ රක්නා හ. ගිනි වේවයි විෂ වේවයි ශස්ත්ර වේවයි ඔහට නො වදනේ ය. වහා සිත සමාධියට යෙයි. මුවපැහැ වෙසෙසින් පහදනේ ය. නො මුළා සිහි ඇතිවේ කලුරිය කරන්නේ ය. මතුයෙහි මග පල නො පිළිවිදුනේ බඹලෝ යනුයේ වෙයි.
මහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්ථිත වූ පරිචිත වූ සුසමාරබ්ධ වූ මෙත්රීචිත්තවිමුක්තිහුගේ මේ එකොළොස් අනුසස් කැමති විය යුත්තාහු යි.
11. 2. 6.
අට්ඨකනාගර සූත්රය
එක්සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ විසාලා නුවර බේලුව ගම්හි වාස කරත්. එකල්හි අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරණී හේතුයෙන් පාටලීපුත්රයට අනුප්රාප්ත වෙයි. ඉක්බිති අට්ඨක නගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි අන්යතර මහණකු කරා එළඹියේ ය. එළඹ එ මහණහට තෙල සැලකළේය: වහන්ස, මෙ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොහි වාස කෙරෙත් ද, වහන්ස, අපි ආයුෂ්මත් ආනන්ද තෙරුන් දක්නා කැමැතියම්හ”යි. ගැහැවියෙනි, තෙල ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ වේසාලියෙහි බේලුව ගම්හි වාස තෙරෙති යි.
ඉක්බිති අට්ඨකනගර වැසි දසම ගැහැවි පාටලී පුත්රයෙහි එ කරණී නිමවා වේසාලියෙහි බේලුව ගම්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් අට්ඨකනගර වැසි දසම ගහපති ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කීය:
වහන්ස, ආනන්දයෙනි, ආසයානුසය දන්නා ඥේය ධර්මය දක්නා අර්හත් වු සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් යම් ධර්මයෙක්හි අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ප්රහිතාත්ම ව වාසය කරන භික්ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්ෂීණ වූ හෝ ආස්රවයෝ පරික්ෂීණයට යෙත් නම්, නොපැමිණියා වූ හෝ අනුත්තරයෝගක්ෂේමයට පැමිණේ නම් මොනොවට ප්රකාශ කරන ලද එ බඳු එක් ධර්මයෙක් ඇත්තේ දැ යි?
ගැහැවියෙනි, යම් ධර්මයෙක් හි අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිර්වාණය කෙරෙහි මෙහෙයූ සිත් ඇති වැ වසන භික්ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, පරික්ෂීණ නො වූ ආස්රවයෝ හෝ පරික්ෂයට යෙත් නම් නො පැමිණියා වූ හෝ අනුත්තරයෝගක්ෂේමයට පිළිවෙළින් පැමිණේ නම්, ආසයානුසය දන්නා ඥේයධර්මය දක්නා අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද එබඳු එක් ධර්මයෙක් ඇත් මැයි.