11. 2. 4.
සුභූති සූත්‍රය
එකල්හි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ සද්ධ නම් භික්‍ෂුහු සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සුභූති තෙරණුවනට භගවත්හු තෙල වදාළහ.
සුභූතියෙනි, මෙ මහණ කිනමැ යි?
වහන්ස, සද්ධ (=අනේපිඬු) නම් උවසුහුගේ පුත මෙතෙම සද්ධ නම් වූයේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ වෙයි.
සුභූතියෙනි, කිමෙක, සද්ධ උවසුහුගේ පුත් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ සද්ධ මහණ ශ්‍රද්ධාපදානයන්හි ලා පැණේ දැ යි?
භාග්‍යවතුන් වහන්ස, තෙල සඳහා මෙ කලි. සුගතයන් වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සැදැහැතියහුගේ ශ්‍රද්ධාපදානයන් වදාරණ සේක් නම් තෙල සඳහා මෙ කලි. දැන් මම මෙ මහණ ශ්‍රද්ධාපදානයන් හි ලා ඉදින් පැණේ ද හෝ නො පැණේ ද හෝ යි දැනගන්නෙමි යි.
සුභූතියෙනි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු. කියමි යි.
වහන්ස, එසේය යි, ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
1. සුභූතියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවර සිලින් සංවර වූයේ ආචාරගෝචර සම්පන්නව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපදයන්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. සුභූතියෙනි, යම්හෙයකින් මහණ සිල්වත් වේ ද, සමාදන්ව ගෙන සිකපදයන් හි හික්මේ ද, සුභූතියෙනි, සැදැහැත්තහුගේ මෙ ද ශ්‍රද්ධාපදානය වෙයි.
2. සුභූතියෙනි, තවද මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ඒ ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්, සුභූතියෙනි, යම් හෙයකින් මහණ බහුශ්‍රුත වේ නම් … ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම් මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.
3. තවද සුභූතියෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි, සුභූතියෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරුවූයේ වේ ද, සුභූතියෙනි, මේද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
4. තවද සුභූතියෙනි, මහණ සුවචභාවය ඇතිකරන ධර්‍මයෙන් සමන්‍වාගතවූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ සුවච භාවය කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවචයෙක් වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.