11. 2. 3.
නන්‍දිය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමැතිසේක් වෙති. නන්‍දිය ශාක්‍යයා “භාග්‍යවතුන් වහන්සේ වු කලී සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමති සේක්”යි ඇසුයේ ම ය. ඉක්බිති නන්‍දිය ශාක්‍යහට තෙල අදහස විය: “මම ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙම් නම් එහි කර්‍මාන්තයෙහි යෙදෙමු නම් භාග්‍යවතුන් වහන්සේ ද කලින් කල දක්නට ලබන්නෙම් නම් ඉතා මැනවැ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹි සේක. නන්‍දියශාක්‍ය ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹියේ ය. එහි කර්‍මාන්ත ද ඇරැඹී ය. කලින් කල භාග්‍යවතුන් වහන්සේ දැක්මට ද ලදුයේ ය.
එසමයෙහි බොහෝ වහන්දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි භාග්‍යවතුන් උදෙසා සිවුරුකම් කෙරෙත්. නන්‍දියශාක්‍ය “භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි බොහෝ වහන්දෑ උදෙසා සිවුරුකම් කරත්හයි ඇසුයේ ම ය. එකල්හි නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේය: වහන්ස, බොහෝ භික්‍ෂුහු “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්මෙන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිවුරුකම් කෙරෙතී යන තෙල කරුණ ම විසින් අසන ලදැයි. වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් විසිය යුතුදැ”යි?
නන්‍දියෙනි, මැනැව, මැනැව. නන්‍දියෙනි, තෙපි තථාගතයන් කරා එළඹ යම් හෙයෙකින් “වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් වාස කටයුතු දැ”යි පුළුවුස්හු. තෙල කරුණ කුලපුත්‍ර වූ තොපට අනුරූප මැ යි.
නන්‍දියෙනි, ශ්‍රද්ධා ඇතියේ ම ආරාධක වෙයි, ශ්‍රද්ධා නැතියේ නො වෙයි. සිල්වත් වූයේ ආරාධක වෙයි, දුස්සීල වූයේ නො වෙයි. ප්‍රාරබ්ධවීර්‍ය්‍ය ඇතියේ ම ආරාධක වෙයි, කුසීත වූයේ නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහිය ඇතිවූයේ නො වෙයි. සමාහිත වූයේම ආරාධක වෙයි, අසමාහිත වූයේ නොවෙයි. ප්‍රඥා ඇතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ වූයේ නො වෙයි. නන්‍දියෙනි, මේ සදහම් හි පිහිටා පඤ්චධර්‍මයන්හි තා විසින් ආධ්‍යාත්මික වශයෙන් ස්මෘතිය එළවිය යුතු වෙයි.
නන්‍දියෙනි, මෙ විසාහි ලා තෙපි “මෙ කරුණෙනුදු භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විදයාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි, තථාගතයන් සිහි කරව. නන්‍දියෙනි. මෙසේ ම තොප විසින් තථාගතයන් ඇරබ අධාත්මයෙහි ස්මෘති එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු ය”යි, ධර්‍මය සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දහම් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි, “යම් බඳු මාගේ කල්‍යාණ මිත්‍රයෝ අනුකම්පා ඇතිය හ, අර්‍ත්‍ථකාමය හ, ඔවා දෙන්නා හ, අනුසස්නා හ, එකැතියෙන් මට ඒ ලාභය. එකැතියෙන් මනා ලැබීමෙකි”යි, කල්‍යාණ මිත්‍රයන් සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ද තොප විසින් කල්‍යාණ මිත්‍රයන් ඇරබ අධ්‍යාත්මයෙහ් සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි “යම් බඳු මට මාත්සර්‍ය්‍යබලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍යයෙන් යුත් සිතින් මිදූ ත්‍යාග ඇතියෙම් දෙනුවට දෙවී අත් ඇතියෙම් හැරමමෙහි ඇලුනෙම් යදනට නිසි වූයෙම් දානසංවිභාගයෙහි ඇලුණෙම් ගිහිගෙයි වෙසෙම් නම් එකැතියෙන් මට ලාභය, එකැතියෙන් සුලබ්ධිය”යි, තමන්ගේ ත්‍යාග සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් ත්‍යාගය ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම අන්‍යතර මනෝමය කයකට එළඹියාහු නම් ඔවුහු තමන් කරණී නො ම දක්නා හ. කෘතයාගේ හෝ නැවත කිරීමක් නො දක්නාහයි දේවතාවන් සිහි කරව.