11. 2. 2.
දුතිය මහානාම සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි වූ න්යග්රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහානාම ශාක්ය තෙම ගිලන් බැවින් නැඟියේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි. එකල්හි බොහෝ වහන්දෑ “භාග්යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස ඇවෑමෙන් චාරිකාවට පිටත්වන්නාහ”යි භාග්යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ.
මහානාම සැහැරජ “බොහෝ වහන්දෑ භාග්යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ”යි භාග්යවතුන් වහන්සේට චීවරකර්ම කරන්නාහ’යි ඇසී ය. ඉක්බිති මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැ රජ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
වහන්ස, “බොහෝ වහන්දෑ ‘භාග්යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ’යි භාග්යවතුන් වහන්සේට සිවුරුකම් කරති”යි යන තෙල කරුණ ම විසින් අසන ලද, වහන්ස, නානාවිධ විහාරයෙන් වාසය කරන එ අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු වේ දැ යි?
මහානාමයෙනි, මැනැවි, මැනැවි, මහානාමයෙනි, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ “වහන්ස, නානාවිහාරයෙන් වාසය කරන අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු දැ” යි යන තෙල කරුණ කුලපුත්රවු තොපට නිසිමැ යි.
මහානාමයෙනි, සැදැහැතියේ ආරාධක වෙයි, සැදැහැ නැතියේ ආරාධක නො වෙයි. රුකුළුවැර ඇතියේ ආරාධක වෙයි, කුසීත නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ආරාධක වෙයි, සිහි නැතියේ නො වෙයි. එකඟ සිතැතියේ ආරාධක වෙයි, අසමාහිතයා නො වෙයි. ප්රඥා ඇතියේ ආරාධක වෙයි, දුෂ්ප්රාඥ වූයේ නො වෙයි. මහානාමයෙනි, තෙපි මේ පඤ්චධර්මයෙහි පිහිටා මතුයෙහි සදහමුන් වඩව.
මහානාමයෙනි, මෙ විෂයෙහි ලා තෙපි “මෙ කරුණෙනුදු එ භගවත්හු බුද්ධයහ, භාග්යවත්හ”යි තථාගතයන් (ගුණ විසින්) සිහි කරව. මහානාමයෙනි, යම් සමයෙක්හි ආර්ය්යශ්රාවක තථාගතයන් සිහි කෙරේ නම් එ සමයෙහි ඔහට රාගපර්ය්යුත්ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්ය්යුත්ථිත චිත්තය නො වෙයි. මෝහපර්ය්යුත්ථිත චිත්තය නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගතචිත්ත ඇති ආර්ය්යශ්රාවක අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය, ධර්මොපනිඃශ්රිත ප්රමෝදය ලබන්නේ ය. ප්රමුදිතයාට ප්රීතිය උපදී. ප්රීතමනස්කයාගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ බුද්ධානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේ ත් වඩව, හෝනේත් වඩව, කමත්හි සිටිනුයේත් වඩව, පුත්රම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.
තවද මහානාමයෙනි, තෙපි ධර්මය සිහි කරව ... සඞ්ඝයා සිහි කරව ... තමන් සිල් සිහි කරව ... තමන්ගේ ත්යාග සිහි කරව ...“චාතුර්මහාරාජික දෙවියෝ ඇත ... ඉන් මතුයෙහි ඇතැ”යි දේවතාවන් සිහි කරව.
එ දෙවියෝ යම්බඳු ශ්රද්ධායෙකින් සමන්වාගත වූවාහු මෙයින් ච්යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්රද්ධා ඇත. යම් බඳු ශීලයෙකින් ... ශ්රැතයෙකින් … ත්යාගයකින් … ප්රඥායෙකින් එ දෙවියෝ සමන්වාගත වූවාහු මෙයින් ච්යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ප්රඥා ඇතැයි.
මහානාමයෙනි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම තමන්ගේ ද එ දෙවියන්ගේ ද ශ්රද්ධා හා ශීල හා ශ්රැත හා ත්යාග හා ප්රඥා සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගපර්ය්යුත්ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්ය්යුත්ථිත චිත්තය නොවෙයි, මෝහපර්ය්යුත්ථිත චිත්තය නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත දේවතාවන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්ය්යශ්රාවක අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපනිඃශ්රිත ප්රමෝදය ලබන්නේ ය. ප්රමුදිතයාට ප්රීතිය උපදනේ ය. ප්රීතමනස්කයාගේ නාමකය සන්සිඳෙයි, සන්හුන්කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ දේවතානුස්මෘතිය යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්රසම්බාධශයනයෙහි වසනුයේත් වඩවයි.