11. 2. 11.
චතුත්ථසමාධි සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ මහණුන් ඇමතූහ ...
ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නොවේ නම්, වායුවෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් බඳු මේ මනසින් ප්රාප්ත වූ, පර්ය්යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ දැ යි?
ඇවැත් ශාරීපුත්රයෙනි, අපි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්ත්ථය දැන ගැනුම සඳහා දුර සිට එමු. තෙල භාෂිතයාගේ අර්ත්ථය ආයුෂ්මත් ශාරීපුත්රයනට ම වැටහේ නම් මැනෑ මය. ආයුෂ්මත් ශාරීපුත්රන්ගේ භාෂිතය අසා භික්ෂූහු ධරන්නාහයි.
ඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමැයි. ඇවැත්නි, එසේ යයි එ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්රයනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ.
ඇවැත්නි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේයයි.
ඇවැත්නි, ශාරීපුත්රයෙනි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට කෙසේ නම් එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ දැයි?
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්වොපධීන්ගේ ප්රතිනිඃසර්ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්රණීත ය’යි. ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම්, අප්හි අප්සංඥා ඇති නොවේ නම්, තේජස්හි තේජස්සංඥා නොමැති වේ නම්, වායුයෙහි වායුසංඥා නොමැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නොමැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නොමැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නොමැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නොමැති වේ නම්, යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නොමැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට මෙසේ එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ යි.
අනුස්සති වර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
මහානාම සූත්ර දෙකය, නන්දිය සූත්රය, සුභූති සූත්රය, මෙත්තානිසංස සූත්රය, දසමගහපති සූත්රය, ගෝපාල සූත්ර දෙකය, සමාධි සූත්ර සතර දැයි එකොළොසෙකි.