11. 2. 10.
තතිය සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹියහ, එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හා සමග සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යයි.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම්පරිද්දෙකින් පඨවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා ඇතියේත් සංඥා නැතියේත් වේ නම්, මහණ එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි?
ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම් ... යම් මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා ඇතියේ නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.
11. 2. 11.
චතුත්‍ථසමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ ...
ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නොවේ නම්, වායුවෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් බඳු මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?