10. 5. 2. 3.
තුන්වැනි සූත්‍රය
මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර තිසෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද අදින්නාදායී වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සම සිතැතියේ ද වෙයි. තෙමේ ද කාමයන්හි මිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද මුසවා කියන සුලු වෙයි. මෙරමා දු මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සම සිතැතියේ ද වෙයි. තෙමේ පිසුනු බසැතියේ ද වෙයි. මෙරමා ද පිසුනුයෙහි සමාදන් කරවයි. පිසුනු බස්හි සමනුඥ වෙයි. තෙමේ පරොස් බසැතියේ ද වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි. පරොස් බස්හි තෙමේ සමනුඥ ද වෙයි. තෙමේ සම්ඵප්‍රලාප කියනුයේ ද වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. තෙමේ අභිධ්‍යාලූ ද වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ව්‍යාපාදයට පත් සිතැතියේ ද වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ මිථ්‍යාදෘෂ්ටික ද වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මෙ තිස් දහමින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් පරිදි වේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් පරිදි වේ නම් එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි: කවර තිස් කරුණෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාත විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ අයිනාදනින් වැළකියේ ද වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වැළකීමෙහි සමනුඥ ද වෙයි. තෙමේ කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාර විරතියෙහි සමනුඥ ද වෙයි.
තෙමේ ද මුසවායෙන් වැළකියේ වෙයි. මෙරමා ද මෘෂාවාද විරතියෙහි සමාදන් කරවයි. මෘෂාවාද විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පිසුනු බසින් වැළකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පිසුන් වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පරුෂ වචනයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පරුෂවචනවිරතියෙහි සමාදන් කරවයි. පරුෂ වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපවිරතියෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මේ තිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ ද එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි.
10. 5. 2. 4.
සතරවැනි සූත්‍රය
මහණෙනි, ධර්‍ම සතළිසෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර සතළිසෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදන් ගන්නාසුලු වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සමනුඥ ද වෙයි. අයිනාදන්හි ගුණ ද බෙණෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යාචාරයාගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද මුසවා කියනසුලු වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සමනුඥ ද වෙයි. මුසවාහි ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනුබසැතියේ වෙයි. මෙරමා ද පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුන්බස්හි සමනුඥ ද වෙයි. පිසුනුබස්හුගේ ගුණ ද බෙණෙයි.