10. 5. 1. 2.
දුතියනිරය සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්ද බහාතැබුයේ යම්සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙයින් වැකුණු අත් ඇතියේ නැසුම් වොලො ගැනුම්හි බටුයේ හැම සතුන් කෙරෙහි දයාවට නො පැමිණියේ ප්‍රාණඝාතී වෙයි. නුදුන්දෑ ගන්නා සුළු වෙයි. ... කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. ... මුසවා කියන්නේ වෙයි ... පිසුනුබස් ඇතියේ වෙයි .... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ඵප්‍රලාප ඇතියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ වෙයි ... ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි ... “දුන් දෑ පල නැත, යාගයෙහි පල නැත, හෝමයෙහි පල නැත, සුකෘතදුෂ්කෘතයෙහි ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි යමෙක් තුමූ ම මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක්කොට ප්‍රකට කොට දනිත් නම් එ බඳු මහණ බමුණෝ නැතැ”යි විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම්සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ ප්‍රාණඝාතය හැරපියා ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. දයාවට පැමිණියේ සවුසතුන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වාසය කරයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි ... පිසුනු බස් හැර පියා පිසුනු බසින් වැළැකියේ වෙයි ... පරොස් බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි … සම්ඵප්‍රලාපය හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ නො වෙයි ... ව්‍යාපාදයට නො පත් සිතැතියේ වෙයි ... “දුන්දැයෙහි පල ඇති, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘත දුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත, යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට මොනොවට දක්නාහු නම්, එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග් දෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එනලද දැයක් බහා තැබූයේ යම්සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
10. 5. 1. 3.
මාතුගාම සූත්‍රය
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත මාගම් ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
ප්‍රාණඝාතී වෙයි, නුදුන් දැ ගන්නේ වෙයි, කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන්නේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, සම්ප්‍රඵලාප ඇතියේ වෙයි, අභිධ්‍යා බහුලකොට ඇත්තේ වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.