10. 4. 2. 2.
අරිය පච්චෝරෝහණී සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. ප්‍රාණ ඝාතකයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැර ලයි. ප්‍රාණඝාතයෙන් ප්‍රත්‍යාවරෝහණ කරයි ... මිථ්‍යාදෘෂ්ටියගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සාම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැර ලයි. මිසදිටුයෙන් ප්‍රත්‍යාවරෝහණය කරයි. මහණෙනි, මේ ආර්‍ය්‍යප්‍රත්‍යාවරෝහණය යි කියනු ලැබේ.
10. 4. 2. 3.
සංගාරව සූත්‍රය
එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන්වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස් ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. පින්වත් ගෞතමයන් වහන්ස, ඔරිමතීරය කවරේය, පාරිමතීරය කවරේය යි?
බ්‍රාහ්මණය, ප්‍රාණඝාතය ඔරිමතීරය යි. ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, අයිනාදන් ඔරිමතීරය යි. අයිනාදනින් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, කාමමිථ්‍යාචාරය ඔරිමතීරය යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මුසාවාදය ඔරිමතීරය යි. මුසාවාදයෙන් විරමණය පාරිමතීරය යි. පිසුනුබස ඔරිමතීරය යි. පිසුනුබසින් විරමණය පාරිමතීරය යි. පරොස්බස ඔරිමතීරය යි. පරොස්බසින් විරමණය පාරිමතීරය යි. සම්ප්‍රඵලාපය ඔරිමතීරය යි. සම්ප්‍රඵලාපයෙන් විරමණය පාරිමතීරය යි. අභිධ්‍යාව ඔරිමතීරය යි. අනභිධ්‍යාව පාරිමතීරය යි. ව්‍යාපාදය ඔරිමතීරය යි. අව්‍යාපාදය පාරිමතීරය යි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මේ ඔරිමතීරය වෙයි. මේ පාරිමතීරය වේ යයි.
1. මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පාරසඞ්ඛ්‍යාත නිර්‍වාණයට යන් සුලු වෙත් ද ඔහු ස්වල්ප වෙත්. වැලිත් මේ අන්‍යප්‍රජා තොමෝ තෙර අනුව දුවන්නේ මැයි.
2. යම් කෙනෙක් මොනොවට දෙසන ලද ධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද එ ජනයෝ තරණයෙහි අති දුෂ්කර වූ මෘත්‍යුධෙය ය ඉක්මවා පාරයට යෙත්.
3. පණ්ඩිත තෙමේ ඔක සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ අභිරමණය කෙරේද, කෘෂ්ණධර්‍ම හැරපියා ශුක්ලධර්‍ම වඩනේය.
4. රාගාදි කිඤ්චන නැතියේ කාමයන් හැරපියා එහි අභිරතිය කැමැති වන්නේ ය. ඒ පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යම් කෙනෙකුන් විසින් සම්බෝධ්‍යඞ්ගධර්‍මයන් හි සිත මොනොවට සුභාවිත ද උපාදානයන්ගේ (දුරලීම වූ නිර්‍වාණයෙහි යම් කෙනෙකුන් තෘෂ්ණාදෘෂ්ටි ඈ විසින් නො ගෙන ඇලුනාහු වෙත් ද ද්‍යුතිමත් වූ ඒ ක්‍ෂීණාස්‍රවයෝ ලොව්හි පිරිනිවුනාහු වෙති.
සඞ්ගාරව සූත්‍රය තෙවැනි යි
10. 4. 2. 4.
ඔරිමතීර සූත්‍රය
මහණෙනි තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසමි, ඒ අසවු ... මහණෙනි, ඔරිමතීරය හා කවරේය යත්? පාරිමතීරය කවරේය යත්?
මහණෙනි, ප්‍රාණඝාතය ඔරිමතීරයි, ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරයි. අදින්නාදානය ඔරිම තීරයි, අදින්නාදානයෙන් විරමණය පාරිමතීරයි. කාමමිථ්‍යාචාරය ඔරිම තීරයි, කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරයි. මුසාවාදය ඔරිමතීරයි, මුසාවාදයෙන් විරමණය පාරිමතීරයි. පිසුනුබස් ඔරිමතීරයි, පිසුනුබසින් විරමණය පාරිමතීරයි. පරොස්බස් ඔරිමතීරයි, පරොස්බසින් විරමණය පාරිමතීරයි. සම්ඵප්‍රලාපය ඔරිමතීරයි, සම්ඵප්‍රලාපයෙන් විරමණය පාරිමතීරයි. අභිධ්‍යාව ඔරිමතීරයි, අනභිධ්‍යාව පාරිමතීරයි. ව්‍යාපාදය ඔරිමතීරයි අව්‍යාපාදය පාරිමතීරයි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිම තීරයි, සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරයි. මහණෙනි, මේ ඔරිමතීරයි, මේ පාරිමතීරයි.
1. මනුෂ්‍යයන් අතරෙහි යම් ජන කෙනෙක් නිවන්පරතෙර යනසුලු වෙත් නම් ඔහු අල්ප වෙත්. වැලිත් (මේ) සෙසු ප්‍රජා මෙ තෙර අනුවම දිවෙයි.