10. 3. 2. 9.
පුබ්බඞ්ගම සූත්‍රය
මහණෙනි, උදාවන හිරුහට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍වනිමිත්ත වෙයි, එනම් අරුණු නැඟීම යි. මහණෙනි, එ පරිදිම කුශල ධර්‍මයනට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍ව නිමිත්ත වෙයි, එනම් සම්දිට්හයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යක්වාක් පොහෝනේ වෙයි. සම්‍යක්වාක් ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත පොහෝනේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යක් ආජීවය පොහෝනේ වෙයි. සම්‍යක්ආජීව ඇත්තහුට සම්‍යක්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යක්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පොහෝනේ වෙයි. සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධිය ඇත්තහුට සම්‍යක්ඥානය පොහෝනේ වෙයි. සම්‍යක්ඥානීහට සම්‍යක්විමුක්තිය පොහෝනේ වෙයි.
10. 3. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
මහණෙනි, මේ දශධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය සඳහා වැටෙත්. කවර දශ කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මාවිමුත්ති යි.
මහණෙනි, මේ දසදහම් භාවිතා බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙතැයි.
දෙවන පච්චෝරෝහණ වර්‍ග යි.
එහි උද්දානය:
අධර්‍ම සූත්‍ර තුනෙක, අජිත සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, ඔරිම සූත්‍රය, පච්චෝරෝහණ සූත්‍ර දෙකය, පුබ්බඞ්ගම සූත්‍රය ආසව සූත්‍රයදැයි යන දසයයි.