3. තෙවන පණ්ණාසකය
1. සමණසඤ්ඤා වර්ගය
10. 3. 1. 1.
සමණසඤ්ඤා සූත්රය
මහණෙනි, මෙ ත්රිවිධ ශ්රමණ සංඥා කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු සත්කරුණක් පිරිපුන් කරත්. කවර තුන් කෙනෙක් යත්:
(කාය - චීවරාදී) වෛවර්ණ්යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්ය වූ ශ්රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්රමණයනට උපදනා මෙ ත්රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:
හැම කල්හි නිරන්තරකාරී වූයේ ශීලයෙහි සතතප්රවෘත්ති ඇත්තේ වෙයි. අභිධ්යාබහුල නොවෙයි. ව්යාපාද නැත්තේ වෙයි. අතිමාන නැත්තේ වෙයි. ශික්ෂා කාම වෙයි. ඔහුගේ ජීවිතපරික්ෂාකාරයන්හි මේ ප්රත්යය ය යන (අදහස) වෙයි. ඇරඹු වැර ඇතියේ ද වෙයි. මහණෙනි, මේ ත්රිවිධ ශ්රමණ සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ සත් කරුණු සපුරත්යි.
10. 3. 1. 2.
බොජ්ඣඞ්ග සූත්රය
මහණෙනි, මේ සප්ත බෝධ්යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්රිවිද්යාවන් සපුරත්. කවර සතෙක යත්:
සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සප්ත සම්බොජඣඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්රිවිද්යාවන් සපුරත්, කවර තිදෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ වූ පූර්වේනිවාසානු ස්මෘතිය සිහි කරයි. එ කෙසේය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි.
මිනිසැස ඉක්ම ගිය, විශුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි ප්රතිසන්ධියට එළඹෙන සත්ත්වයන් දනිත්.
ආස්රවක්ෂයන් … සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
මෙ සප්ත බෝධ්යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ ත්රිවිද්යාවන් සපුරත්.
10. 3. 1. 3.
මිච්ඡත්ත සූත්රය
මහණෙනි, මිථ්යාත්වයට විරාධනා වෙයි. ආරාධනායෙක් නොවෙයි. මහණෙනි, කෙසේ නම් මිථ්යාත්වයට පැමිණීමෙන් විරාධන වේ යැ ආරාධනා නො වේය යත්:
මහණෙනි, මිථ්යාදෘෂ්ටිකහට මිථ්යාසංකල්පය පොහෝනේය, මිථ්යාසංකල්ප ඇතියහට මිථ්යාවාක් පොහෝනේය. මිථ්යාවාක් ඇතියහට මිථ්යා කර්මාන්ත පොහෝනේය. මිථ්යා කර්මාන්ත ඇතියහට මිථ්යා ආජීවය පොහෝනේය. මිථ්යා ආජීව ඇත්තාහට මිථ්යා ව්යායාමය පොහෝනේය. මිථ්යා ව්යායාමය ඇත්තාහට මිථ්යා ස්මෘතිය පොහෝනේය. මිථ්යා ස්මෘතිය ඇත්තාහට මිථ්යා සමාධිය පොහෝනේය. මිථ්යා සමාධි ඇත්තාහට මිථ්යා ඥානය පොහෝනේය. මිථ්යා ඥානය ඇත්තාහට මිථ්යා විමුක්ති පොහෝනේය. මහණෙනි, මෙ සෙයින් ම මිථ්යාත්වයට පැමිණීමෙන් විරාධනා වෙයි. ආරාධනා නො වෙයි.
මහණෙනි, සම්යක්ත්වයට පැමිණීමෙන් ස්වර්ග - මාර්ගාරාධනා වෙයි. විරාධනා නො වෙයි. මහණෙනි, කෙසේ නම් සම්යක්ත්වයට පැමිණීමෙන් ආරාධනා වේයැ, විරාධනා නොවේය යත්:
මහණෙනි, සම්යක්දෘෂ්ටිකයාහට සම්යක් සංකල්පට පොහෝනේය. සම්යක් සංකල්ප ඇතිහට සම්යග් වචනය පොහෝනේය. සම්යග් වචනය ඇතියහට සම්යක්කර්මාන්තය පොහෝනේය. සම්යක් කර්මාන්ත ඇතියහට සම්යගාජීවය පොහෝනේය. සම්යගාජීවය ඇතියහට සම්යග් ව්යායාමය පොහෝනේය. සම්යග් ව්යායාමය ඇත්තහුට සම්යක් ස්මෘතිය පොහෝනේය. සම්යක් ස්මෘතිය ඇත්තහුට සම්යක් සමාධිය පොහෝනේය. සම්යක් සමාධිය ඇත්තහුට සම්යග් ඥානය පොහෝනේය. සම්යග් ඥාන ඇත්තහුට සම්යග් විමුක්තිය පොහෝනේයි. මහණෙනි, මෙ සෙයින් ම සම්යක්ත්වයට පැමිණීමෙන් ආරාධනා වේ. විරාධනා නො වෙයි.