10. 3. 2. 6.
ඔරිමතීර සූත්රය
මහණෙනි, තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි යි. ‘වහන්ස, එසේ’ යි එ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඔරිමතීරය හා කවර, පාරිමතීරය හා කවර:
මහණෙනි, මිථ්යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්යග්දෘෂ්ටිය පාරිමතීරය යි ... මිථ්යාවිමුක්තිය ඔරිමතීරය යි. සම්යග්විමුක්තිය පාරිමතීරය යි. මහණෙනි, මෙ ඔරිමතීරය යි. මෙ පාරිමතීරය යි.
1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද, එ ජනයෝ මදහ. වැලි මෙ සෙසු ලොවී සත්ත්වාඛ්ය ප්රජාව සත්කාය තීරයටම දිවෙයි.
2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ නව ලොවුතුරු දහම්හි ධර්මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර වූ තෙබුමු වට නැමැති මෘත්යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්.
3. පණ්ඩිත තෙම කෘෂ්ණධර්ම හැරපියා වර්ත සඞ්ඛ්යාත ගිහිගෙන් ත්රිවිධ විවේකයෙහි අභිරමණයට දුෂ්කරවූ විවර්ත සඞ්ඛ්යාත අනෝකයට පැමිණ ශුක්ල ධර්ම වඩනේ ය.
4. පරිරෝධ නැතියේ කාමයන් හැරපියා එ නිවන්හි අභිරතිය පතන්නේ ය. පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්ය්යවදාත කරන්නේ ය.
5. යමකුන් විසින් සම්බෝධ්යඞ්ගයන්හි චිත්තය මොනොවට වඩන ලද ද, ආදාන ප්රතිනිඃසර්ගයෙහි උපාදාන විසින් නො ගෙන යමෙක් ඇලුණාහු ද ද්යුතිමත් එ ක්ෂීණාස්රව පණ්ඩිතයෝ ලොව්හි පිරිනිවියහ යි.
10. 3. 2. 7.
පඨම පච්චෝරෝහණී සූත්රය
එ සමයෙහි ජානුස්සෝණී බ්රාහ්මණ එ පොහෝ දවස්හි හිස නහවාලූයේ නව ක්ෂෞමවස්ත්ර යුග්මයක් හැඳියේ අමු කුසතණ මිටක් ගෙන භාග්යවතුන් වහන්සේට නුදුරෙහි එකත්පස්හි සිටියේ වෙයි.
භාග්යවතුන් වහන්සේ එපොහෝ දවස්හි හිස නහවාලූ නව ක්ෂෞමවස්ත්ර යුග්මයක් හැඳි අමු හීතණ මිටක් ගෙන නුදුරෙහි එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්රාහ්මණයා දුටුහු, දැක ජාණුස්සෝණී බ්රාහ්මණහට තෙල කරුණ වදාළ සේක:
බ්රාහ්මණය, එ පොහෝ දවස්හි හිස සෝදා නහා නව කොමුපිළී යුවළක් හැඳියේ අමු හීතණ මිටක් ගෙන තෙපි කවර හෙයින් එකත් පසෙක් සිටියහු ද? අද බ්රාහ්මණ කුලයට කවරක් ඇද්දැයි?
භවත් ගෞතමයිනි, අද බ්රාහ්මණ කුලයට ප්රත්යවරෝහණය (පව් සෝදා හැරීම) යි.
බ්රාහ්මණය, බමුණන්ගේ ප්රත්යවරෝහණය කෙසෙයින් වේ ද?