10. 3. 2. 7.
පඨම පච්චෝරෝහණී සූත්‍රය
එ සමයෙහි ජානුස්සෝණී බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි හිස නහවාලූයේ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳියේ අමු කුසතණ මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එකත්පස්හි සිටියේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ එපොහෝ දවස්හි හිස නහවාලූ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳි අමු හීතණ මිටක් ගෙන නුදුරෙහි එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා දුටුහු, දැක ජාණුස්සෝණී බ්‍රාහ්මණහට තෙල කරුණ වදාළ සේක:
බ්‍රාහ්මණය, එ පොහෝ දවස්හි හිස සෝදා නහා නව කොමුපිළී යුවළක් හැඳියේ අමු හීතණ මිටක් ගෙන තෙපි කවර හෙයින් එකත් පසෙක් සිටියහු ද? අද බ්‍රාහ්මණ කුලයට කවරක් ඇද්දැයි?
භවත් ගෞතමයිනි, අද බ්‍රාහ්මණ කුලයට ප්‍රත්‍යවරෝහණය (පව් සෝදා හැරීම) යි.
බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය කෙසෙයින් වේ ද?
භවත් ගෞතමයෙනි, මෙලොව්හි බමුණෝ එ පොහෝ දවස්හි හිස් සෝදා නෑවාහු නව කොමුපිළී යුවළක් හැදියාහු අමුගොමින් පොළෝ අලෙවුදී නිල් හීතණින් අතුරා වැලිසරට හා ගිනිහල් ගෙට අතර ශය්‍යා කරත්. ඔහු එරෑ තෙවිටක් නැඟී බදැඳිලි ව ගිනි නමදිත්. “භවතුන්ට ප්‍රත්‍යවරෝහණය (පාපශෝධන) කරම්හ”යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු අග්නි සන්තර්‍පණ කරත්. එරෑ ඉක්ම යාමෙනුදු කෑ යුතු බුදිය යුතු පිණි අහරින් බමුණන් සන්තර්පිත කරත්. භවත් ගෞතමයෙනි, මෙසෙයින් බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිද්දෙකින් වේ යයි.
භවත් ගෞතමයෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය කෙසේ වේ දැයි? ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යම් පරිද්දෙකින් වේ නම් භවත් ගෞතමයන් වහන්සේ මට එලෙසින් දහම් දෙසන සේක්වා යි.
බ්‍රාහ්මණය, එ කරුණෙන් අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි.
භවත්නි, එසේය යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය.
බමුණ, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු හැරපියයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාසඞ්කල්පයාගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසඞ්කල්ප හැර පියයි, මිථ්‍යාසඞ්කල්පයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාවාක්හුගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවචනය හැර පියයි, මිථ්‍යාවචනයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාකර්‍මාන්තය හැර පියයි, මිථ්‍යාකර්‍මාන්තයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.