10. 3. 2. 5.
සඞ්ගාරව සූත්‍රය
එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
භවත් ගෞතමයෙනි, මෙතෙර කවර, එතෙර කවර?
බ්‍රාහ්මණය, මිථ්‍යාදෘෂ්ටිය මෙ තෙර යි. සම්‍යක්දෘෂ්ටිය එතෙර යි. මිථ්‍යාසඞ්කල්පය මෙතෙර යි, සම්‍යක්සඞ්කල්පය එතෙර යි. මිථ්‍යාවචනය මෙතෙර යි, සම්‍යක්වචනය එතෙර යි. මිථ්‍යාකර්‍මාන්තය මෙතෙර යි, සම්‍යක්කර්‍මාන්තය එතෙර යි. මිථ්‍යාආජීවය මෙතෙර යි, සම්‍යක්ආජීවය එතෙර යි. මිථ්‍යාව්‍යායාමය මෙතෙර යි, සම්‍යක්ව්‍යායාමය එතෙර යි. මිථ්‍යාසතිය මෙතෙර යි, සම්‍යක්සතිය එතෙර යි. මිථ්‍යාසමාධිය මෙතෙර යි, සම්‍යක්සමාධිය එතෙර යි. මිථ්‍යාඥානය මෙතෙර යි, සම්‍යක්ඥානය එතෙර යි. මිථ්‍යාවිමුක්තිය මෙතෙර යි, සම්‍යක්විමුක්තිය එතෙර යි. බමුණ, මෙ වනාහි මෙතෙරය, මෙ එතෙරය යි.
1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද එ ජනයෝ මඳහ. වැලි මෙ (නිවන් යන සත්ත්‍වයන් කෙරෙන්) අන් ප්‍රජාව සත්කාය තීරයට ම දිවෙයි.
2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ (දේශනා) නව ලෝකෝත්තර ධර්‍මයෙහි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්‍.
3. පණ්ඩිත තෙමේ කෘෂ්ණ ධර්‍ම හැරදමා වර්‍ත සඞ්ඛ්‍යාත ගෙන් යම් කාය චිත්ත උපධි විවේකයෙක්හි අභිරමණය කිරීමට දුෂ්කර වූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ලධර්‍මය වඩනේ ය.
4. පලිබෝධ රහිත වූයේ පණ්ඩිත තෙම ද්විවිධ කාමයන් දුරු කොට එ නිවන්හි අභිරතිය කැමැති වන්නේ ය. චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත වඩන ලද ද ග්‍රහණප්‍රතිනිඃසර්‍ග සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරෝපාදාන විසින් නො ගෙන යම් කෙනෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රවයෝ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත උපාදාන ලෝකයෙහි (කෙලෙස් පිරිනිවුමෙන්) නිවියහයි.
10. 3. 2. 6.
ඔරිමතීර සූත්‍රය
මහණෙනි, තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි යි. ‘වහන්ස, එසේ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඔරිමතීරය හා කවර, පාරිමතීරය හා කවර:
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි ... මිථ්‍යාවිමුක්තිය ඔරිමතීරය යි. සම්‍යග්විමුක්තිය පාරිමතීරය යි. මහණෙනි, මෙ ඔරිමතීරය යි. මෙ පාරිමතීරය යි.