10. 3. 2. 4.
අජිත සූත්‍රය
එකල්හි අජිත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් අජිත පරිව්‍රාජක භගවත්හට තෙල කීය.
භවත් ගෞතමයෙනි, අපගේ පණ්ඩිත නම් සබ්‍රම්සරෙක් ඇත. ඔහු විසින් යම් චිත්තෝත්පාද කෙනෙකුන් කරණ කොට ගෙන අන්‍යතීර්‍ත්‍ථකයෝ නිගන්නාලදහු නිගන්නා ලදුම්හයි දනිත් නම් එබඳු පන්සියක් පමණ චිත්තෝත්පාදයෝ සිතන ලදහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි පණ්ඩිත වස්තූන් දරවුදැ”යි.
භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරනසේක් නම් භාග්‍යවත්නි, තෙල සඳහා මෙ කලි, සුගතයෙනි, තෙල සඳහා මෙ කලි, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු දරත්හ යි.
මහණෙනි, එහෙයින් ම අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි.
වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් අධාර්මිකවාදය නිගන්නේ ය, වෙසෙසින් පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද්රඤ්ජිත කරනේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ හඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය දැඩි කොට නිගන්නේ ය, දැඩි කොට පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය, භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගනී, දැඩි ව පෙළ යි. එයින් ම අධාර්මික පර්‍ෂද් රඳනේ ය. ඒ කරුණින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගන්නේ ය, දැඩි ව පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් කැඳවන්නේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මික වාදයෙන් ධාර්මිකවාදය තදින් නිගනී, තදින් පෙළයි. එයිනුදු ධාර්මික පර්‍ෂද් රඳවයි. එයින් ඒ ධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය” යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන දහම් යම් පරිදි වේ නම් අරුත් යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය කවර? ධර්‍මය ද කවර? අනර්‍ත්‍ථය කවර? අර්‍ත්‍ථය ද කවර?
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යක්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්ත්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
මහණෙනි, මිථ්‍යාසඞ්කල්පය අධර්‍ම යි, සම්‍යක්සඞ්කල්පය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවාග් අධර්‍ම යි, සම්‍යක්වාග් ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා කර්‍මාන්තය අධර්‍ම යි. සම්‍යක් කර්‍මාන්තය ධර්‍ම යි ...