10. 3. 1. 9.
වමන සූත්‍රය
මහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමින් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද වමන බෙහෙත් දෙත්. මහණෙනි, තෙල වමන ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල වමන බෙහෙත් සම්පද්‍යමාන ද වෙයි, විපද්‍යමාන ද වෙයි.
මහණෙනි, යම් වමනයක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම් යම් වමන බෙහෙතකට පැමිණ ජාතිධර්‍ම සත්හු ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්හු මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසධර්‍ම සත්හු සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි උපායාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍යවමනයක් දෙසන්නෙමි. එ අසව, -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම් ආර්‍ය්‍යවමනයෙක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම්, යම් වමනයකට පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යවමනය කවර:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය වාන්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්තයහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක් සංකල්පඇතියහු විසින් මිථ්‍යාසංකල්පය වාන්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවාක් වාන්ත ය .... සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය වාන්තය. ... මහණෙනි, සම්‍යගාජීවය ඇතියහු විසින් මිථ්‍යා ආජීවය වාන්තය. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහු විසින් මිථ්‍යාව්‍යායාමය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘතිය ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධිය ඇතියහු විසින් මිථ්‍යාසමාධිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්තිය ඇතියහු විසින් මිථ්‍යාවිමුක්තිය වාන්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු අනේක ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, යම් වමන සම්පද්‍යමාන ම වේ නම්, විපද්‍යමාන නොවේ නම්, යම් වමනකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම් ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ වැලපුම් දුක් දොම්නස් දැඩි වෙහෙසින් මිදෙත් නම් මේ ඒ ආර්‍ය්‍යවමනය යි.
10. 3. 1. 10.
නිද්ධමනිය සූත්‍රය
මහණෙනි, මේ නිර්ධමනිය ධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය පහ කෙළේ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් උහුදු පහකරන ලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.