10. 3. 1. 10.
නිද්ධමනිය සූත්රය
මහණෙනි, මේ නිර්ධමනිය ධර්ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
මහණෙනි, සම්යග්දෘෂ්ටිකයා විසින් මිථ්යාදෘෂ්ටිය පහ කෙළේ වෙයි. මිථ්යාදෘෂ්ටි ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම් ඔහු විසින් උහුදු පහකරන ලදහ. සම්යග්දෘෂ්ටි ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්යක්සංකල්ප ඇතියහු විසින් මිථ්යාසංකල්පය පහ කෙළේවෙයි ... මහණෙනි, සම්යග්වාක් ඇතියහු විසින් මිථ්යාවාක් පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යක්කර්මාන්ත ඇතියහු විසින් මිථ්යාකර්මාන්ත පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යගාජීව ඇතියහු විසින් මිථ්යාජීවය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යග්ව්යායාම ඇතියහු විසින් මිථ්යාව්යායාමය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යක්ස්මෘති ඇතියහු විසින් මිථ්යාස්මෘති පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යක්සමාධිය ඇතියහු විසින් මිථ්යාසමාධිය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යග්ඥානය ඇතියහු විසින් මිථ්යාඥානය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්යග්විමුක්ති ඇතියහු විසින් මිථ්යාවිමුක්තිය පහ කෙළේ වෙයි ... මිථ්යාවිමුක්ති ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, උහුදු ඔහු විසින් පහකරන ලදහු වෙත්. සම්යග්විමුක්ති ප්රත්යයෙන් කුශලධර්මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මොහු දසදෙන නිද්ධමනිය ධර්ම වෙත්.
10. 3. 1. 11.
අසේඛ සූත්රය
එකල්හි අන්යතර මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
වහන්ස, අසේඛයා, අසේඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසේඛ වේ දැ යි?
මහණ, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ සම්යග්දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යක්සංකල්පයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යග්වචනයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යක්කර්මාන්තයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යගාජීවයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යක්ව්යායාමයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යක්ස්මෘතියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යග්ඥානයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ්ය සම්යග්විමුක්තියෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසේඛ වේ යයි.