10. 3. 1. 8.
තිකිච්ඡක සූත්‍රය
මහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමෙන් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද විරේචන දෙත්. මහණෙනි, තෙල විරේචනය ඇත, ‘තෙල නැතැ’යි නොකියමි. මහණෙනි, තෙල විරේචනය සම්පද්‍යමාන හෝ විපද්‍යමාන හෝ වෙයි.
මහණෙනි, මම ද යම් විරේචනයෙක් සම්‍පද්‍යමාන ම වේ නම් විපද්‍යමාන නොවේ නම්, යම් විරේචනයකට පැමිණ ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු ද, ජරාස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු ද, මරණස්වභාව කොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු ද, ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයෙන් මිදෙන්නාහු ද, එබඳු ආර්‍ය්‍ය විරේචනයක් දෙසම්. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමැයි. ‘එසේය වහන්සැ’යි එ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ දෙසූහ:
මහණෙනි, යම් විරේචනයට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝකපරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙන්නාහු නම් එ ආර්‍ය්‍ය විරේචනය කවර:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය විරික්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහුට මිථ්‍යාසංකල්පය විරික්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවචනය විරික්ත වෙයි. ... සම්‍යග්කර්‍මාන්තයට මිථ්‍යාකර්‍මාන්තය විරික්ත වෙයි. ... සම්‍යාගජීව ඇත්තහු විසින් මිථ්‍යාජීවය විරික්ත වෙයි. ... සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාමය විරික්ත වෙයි. ... සම්‍යක්ස්මෘති ඇත්තහු විසින් මිථ්‍යාස්මෘතිය විරික්ත වෙයි. ... සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය විරික්ත වෙයි. ... සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය විරික්ත වෙයි. ... සම්‍යග්විමුක්ති ඇතියහු විසින් මිථ්‍යාවිමුක්ති විරික්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ ද භාවනාවෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, යම් විරේචනයෙක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යමාන නො වේ නම් යම් විරේචනයෙකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි වෙහෙසින් මිදෙන්නාහු නම්, මෙ එ ආර්‍ය්‍ය විරේචනයයි.
10. 3. 1. 9.
වමන සූත්‍රය
මහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමින් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද වමන බෙහෙත් දෙත්. මහණෙනි, තෙල වමන ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල වමන බෙහෙත් සම්පද්‍යමාන ද වෙයි, විපද්‍යමාන ද වෙයි.
මහණෙනි, යම් වමනයක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම් යම් වමන බෙහෙතකට පැමිණ ජාතිධර්‍ම සත්හු ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්හු මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසධර්‍ම සත්හු සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි උපායාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍යවමනයක් දෙසන්නෙමි. එ අසව, -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: