10. 3. 1. 7.
ධෝවන සූත්රය
[සැවැත්]
මහණෙනි, දක්ෂිණජනපදයෙහි ධෝවන නම් නැකැත් කෙළියෙක් ඇත. මහණෙනි, එ නකත් කෙළියෙහි අන්න හා පාන හා ඛාද්ය භෝජ්ය හා ලෙහ්ය හා පෙය හා නෘත්ය හා ගීත හා වාදිත්ර හා වෙයි. මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්රාම්යය, පුහුදුනන් අයත්ය, අනාර්ය්යය, අනර්ත්ථ ඇසුරු කෙළේය. නිර්වේදය සඳහා නො වෙයි, විරාගය සඳහා නො වෙයි, නිරෝධය සඳහා නො වෙයි, ක්ලේශව්යුපශමය සඳහා නො වෙයි. අභිඥා සඳහා නො වෙයි, සම්බෝධිය සඳහා නො වෙයි, නිර්වාණය පිණිස නො වැටෙයි.
මහණෙනි, මම ද යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්යුපශමය පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්හු ජාතියෙන් මිදෙත් නම් ජරාස්වාභාව ඇති සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණස්වාභාව ඇති සත්හු මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ය උපායාස සැහැවි කොට ඇති සත්හු ශෝක, පරිදේව, දුක් දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්ය්ය ධොවනයක් දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමි යි. ‘එසේය, වහන්සැ’යි එ මහණහු භාග්යවත්හට පිළිවදන් ඇස්වූහ. භගවත්හු තෙල වදාළහ:
මහණෙනි, යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදයට විරාගයට, නිරෝධයට, ව්යුපශමයට, අභිඥාවට, සම්බෝධයට, නිර්වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිධර්ම සත්ත්වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්ම සත්ත්වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණධර්ම සත්ත්වයෝ මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ය, උපායාස ධර්ම සත්ත්වයෝ සෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ය, උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්ය්යධොවනය කවර යත්:
මහණෙනි, සම්යක්දෘෂ්ටිකයා විසින් මිථ්යාදෘෂ්ටිය නිරවශේෂයෙන් දෝනාලදු වෙයි. මිථ්යාදෘෂ්ටිප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිරවසෙස්නෙන් දෝනාලදහ. සම්යග්දෘෂ්ටි ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්යක්සංකල්ප ඇත්තහු විසින් මිථ්යාසංකල්පය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යග්වාක් ඇතියහු විසින් මිථ්යාවචනය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යක්කර්මාන්ත ඇතියහු විසින් මිථ්යාකර්මාන්තය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යගාජීව ඇත්තහු විසින් මිථ්යාආජීවය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යග්ව්යායාම ඇත්තහු විසින් මිථ්යාව්යායාම නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යක්ස්මෘති ඇතියහු විසින් මිථ්යාස්මෘතිය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යක්සමාධි ඇත්තහු විසින් මිථ්යාසමාධිය නිර්ධෞත වෙයි. … මහණෙනි, සම්යග්ඥානය ඇතියහු විසින් මිථ්යාඥානය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්යග්විමුක්ති ඇත්තහු විසින් මිථ්යාවිමුක්තිය නිර්ධෞත වෙයි. මිථ්යාවිමුක්ති ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුසල් දහම්හු උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිර්ධෞත වෙත්. සම්යග්විමුක්ති ප්රත්යයෙන් නොයෙක් කුසල් දහම්හු ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.