10. 3. 1. 6.
නිජ්ජර සූත්රය
[සැවැත්]
මහණෙනි, මෙ නිර්ජර වස්තූහු දශදෙනෙක. කවර දශදෙනෙක යත්:
1. මහණෙනි, සම්යග්දෘෂ්ටිකයාගේ මිථ්යාදෘෂ්ටිය (මාර්ගභාවනායෙන්) නිර්ජිර්ණ වෙයි. මිථ්යාදෘෂ්ටි ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශල ධර්මයෝ නිර්ජිර්ණ වෙත්. සම්යග්දෘෂ්ටි ප්රත්යයෙනුදු නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
2. මහණෙනි, සම්යක්සංකල්ප ඇතියහුගේ මිථ්යාසංකල්පය නිර්ජිර්ණ වෙයි. මිථ්යාසංකල්ප ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්මයෝ උපදනාහු නම් ඕහට ඔහුදු නිර්ජිර්ණ වෙත්. සම්යග් සංකල්ප ප්රත්යයෙනුදු නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
3. මහණෙනි, සම්යක්වචන ඇතියහුගේ මිථ්යාවචනය නිර්ජීර්ණ වෙයි. මිථ්යාවාක් ප්රත්යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ වෙත් නම් ඕහට ඔහු ද නිර්ජිර්ණ වෙත්. සම්යග්වාක් ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
4. මහණෙනි, සම්යක්කර්මාන්ත ඇතියහුගේ මිථ්යාකර්මාන්තය නිර්ජිර්ණ වෙයි. මිථ්යාකර්මාන්ත ප්රත්යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්මයෝ ද නිර්ජිර්ණ වෙත්. සම්යක්කර්මාන්ත ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
5. මහණෙනි, සම්යගාජීව ඇතියහුගේ මිථ්යාජීවය නිර්ජිර්ණ වෙයි. මිථ්යාජීව ප්රත්යයෙන් යම්බඳු ලාමක අකුශලධර්මයෝ වෙත් නම් ඔහුගේ ඒ අකුශලධර්මයෝ නිර්ජිර්ණ වෙත්. සම්යගාජීව ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
6. මහණෙනි, සම්යග්ව්යායාම ඇතියහුගේ මිථ්යාව්යායාමය නිර්ජිර්ණ වෙයි. මිථ්යාව්යායාම ප්රත්යයෙන් යම්බඳු ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම්, ඕහට එ අකුසල්හු ද නිර්ජිර්ණ වෙත්. සම්යග්ව්යායාම ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
7. මහණෙනි, සම්යක්ස්මෘති ඇතියහුගේ මිථ්යාස්මෘතිය නිර්ජිර්ණ වෙයි, මිථ්යාස්මෘති ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශලධර්මයෝ ද නිර්ජිර්ණ වෙත්. සම්යක්ස්මෘති ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
8. මහණෙනි, සම්යක්සමාධි ඇතියහුගේ මිථ්යාසමාධිය නිර්ජිර්ණ වෙයි. මිථ්යාසමාධිප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්මයෝ ද නිර්ජිර්ණ වෙත්. සම්යක්සමාධිප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
9. මහණෙනි, සම්යග්ඥාන ඇතියහුගේ මිථ්යාඥාන නිර්ජිර්ණ වෙයි. මිථ්යාඥාන ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්මයෝ ද නිර්ජිර්ණ වෙත්. සම්යග්ඥාන ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
10. මහණෙනි, සම්යග් විමුක්ති ඇතියහුගේ මිථ්යාවිමුක්ති නිර්ජිර්ණ වෙයි, මිථ්යාවිමුක්ති ප්රත්යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්මයෝ ද නිර්ජිර්ණ වෙත්. සම්යග් විමුක්ති ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මෙ දසදෙන නිර්ජරවස්තූහු වෙත්.
10. 3. 1. 7.
ධෝවන සූත්රය
[සැවැත්]
මහණෙනි, දක්ෂිණජනපදයෙහි ධෝවන නම් නැකැත් කෙළියෙක් ඇත. මහණෙනි, එ නකත් කෙළියෙහි අන්න හා පාන හා ඛාද්ය භෝජ්ය හා ලෙහ්ය හා පෙය හා නෘත්ය හා ගීත හා වාදිත්ර හා වෙයි. මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්රාම්යය, පුහුදුනන් අයත්ය, අනාර්ය්යය, අනර්ත්ථ ඇසුරු කෙළේය. නිර්වේදය සඳහා නො වෙයි, විරාගය සඳහා නො වෙයි, නිරෝධය සඳහා නො වෙයි, ක්ලේශව්යුපශමය සඳහා නො වෙයි. අභිඥා සඳහා නො වෙයි, සම්බෝධිය සඳහා නො වෙයි, නිර්වාණය පිණිස නො වැටෙයි.