10. 3. 1. 5.
විජ්ජා සූත්‍රය
මහණෙනි, අකුශලධර්‍ම සමාපත්තියට අවිද්‍යා පූර්‍වඞ්ගම වෙයි. අහ්‍රීකය, අනපත්‍රපාය යන දෙක නුහුබඳනේ මය. මහණෙනි, අවිද්‍යාගත අන්‍ධබාලයාට මිථ්‍යාදෘෂ්ටිය පොහෝනේය. මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යා සංකල්පය පොහෝනේයි. මිථ්‍යාසංකල්ප ඇතියහුට මිථ්‍යාවාක් පොහෝනේයි. මිථ්‍යාවාක් ඇතියහුට මිථ්‍යාකර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යාකර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යාආජීවය ඇතියහට මිථ්‍යාව්‍යායාමය පොහෝනේය. මිථ්‍යාව්‍යායාමය ඇතියහට මිථ්‍යාස්මෘතිය පොහෝනේය. මිථ්‍යාස්මෘතිය ඇතියහට මිථ්‍යාසමාධි පොහෝනේය. මිථ්‍යාසමාධි ඇතියහට මිථ්‍යාඥානය පොහෝනේය. මිථ්‍යාඥානය ඇතියහට මිථ්‍යාවිමුක්ති පොහෝනේය.
තවද මහණෙනි, කුශලධර්‍මසමාපත්තියට විද්‍යාව පූර්‍වඞ්ගම වෙයි. එ අනුව හිරිඔතප් නුහුබඳනේ ය. මහණෙනි, විද්‍යාගත විදර්ශිහට සම්‍යග්දෘෂ්ටිය පොහෝනේ ය. සම්‍යග්දෘෂ්ටිකයාහට සම්‍යක්සංකල්පය පොහෝනේ ය. සම්‍යග්සංකල්පය ඇත්තාහට සම්‍යක්වාග් පොහෝනේ ය. සම්‍යක්වචන ඇත්තාහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේ ය. සම්‍යක්කර්‍මාන්තය ඇත්තාහට සම්‍යගාජීවය පොහෝනේ ය. සම්‍යගාජීව ඇත්තාහට සම්‍යග්ව්‍යායාමය පොහෝනේ ය. සම්‍යග්ව්‍යායාමය ඇත්තාහට සම්‍යක්ස්මෘතිය පොහෝනේ ය. සම්‍යග්ස්මෘති ඇත්තාහට සම්‍යග්ඥානය පොහෝනේ ය. සම්‍යග්ඥානය ඇත්තාහට සම්‍යග්විමුක්තිය පොහෝනේ යයි.
10. 3. 1. 6.
නිජ්ජර සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ නිර්ජර වස්තූහු දශදෙනෙක. කවර දශදෙනෙක යත්:
1. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටිය (මාර්‍ගභාවනායෙන්) නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශල ධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
2. මහණෙනි, සම්‍යක්සංකල්ප ඇතියහුගේ මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසංකල්ප ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට ඔහුදු නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග් සංකල්ප ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
3. මහණෙනි, සම්‍යක්වචන ඇතියහුගේ මිථ්‍යාවචනය නිර්ජීර්‍ණ වෙයි. මිථ්‍යාවාක් ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ වෙත් නම් ඕහට ඔහු ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්වාක් ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
4. මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහුගේ මිථ්‍යාකර්‍මාන්තය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක්කර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
5. මහණෙනි, සම්‍යගාජීව ඇතියහුගේ මිථ්‍යාජීවය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාජීව ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහුගේ ඒ අකුශලධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යගාජීව ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.