10. 3. 1. 4.
බීජ සූත්රය
මහණෙනි, මිථ්යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්යා සංකල්ප ඇති - මිථ්යා වාක් ඇති - මිථ්යා කර්මාන්ත ඇති - මිථ්යා ආජීව ඇති - මිථ්යා ව්යායාම ඇති - මිථ්යා ස්මෘති ඇති - මිථ්යා සමාධි ඇති - මිථ්යා ඥාන ඇති - මිථ්යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්මයක් හා - යම් වාග් කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්මයක් හා යම් චේතනාවක් හා යම් ප්රාර්ත්ථනාවක් හා යම් ප්රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.
මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපෝරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)
මහණෙනි, එපරිද්දෙන් ම මිථ්යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්යාසංකල්ප ඇති - මිථ්යාවාක් ඇති - මිථ්යා කර්මාන්ත ඇති - මිථ්යා ආජීව ඇති - මිථ්යා ව්යායාම ඇති - මිථ්යා ස්මෘති ඇති - මිථ්යා සමාධි ඇති - මිථ්යා ඥාන ඇති - මිථ්යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්මයක් හා - යම් ම වාක්කර්මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්රාර්ත්ථනාවක් හා යම් ම ප්රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)
මහණෙනි, සම්යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්යක් සංකල්ප ඇති - සම්යක් වාක් ඇති - සම්යක් කර්මාන්ත ඇති - සම්යක් ආජීව ඇති - සම්යක් ව්යායාම ඇති - සම්යක් ස්මෘති ඇති - සම්යක් සමාධි ඇති - සම්යක් ඥාන ඇති - සම්යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්රාර්ත්ථනාවක් වේවයි, යම් ම ප්රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්ර මැයි. (එහෙයිනි)
මහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපෝරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්ර ය, එහෙයිනි.
එපරිදි ම මහණෙනි, සම්යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්යක්සංකල්ප ඇති - සම්යග්වචන ඇති - සම්යක්කර්මාන්ත ඇති - සම්යගාජීව ඇති - සම්යග්ව්යායාම ඇති - සම්යක්ස්මෘති ඇති - සම්යක්සමාධි ඇති - සම්යග්ඥාන ඇති - සම්යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්මයක් වේවයි, යම් ම වාක්කර්මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්රාර්ත්ථනාවක් වේවයි, යම් ම ප්රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්ර මැයි. (එහෙයිනි)
10. 3. 1. 5.
විජ්ජා සූත්රය
මහණෙනි, අකුශලධර්ම සමාපත්තියට අවිද්යා පූර්වඞ්ගම වෙයි. අහ්රීකය, අනපත්රපාය යන දෙක නුහුබඳනේ මය. මහණෙනි, අවිද්යාගත අන්ධබාලයාට මිථ්යාදෘෂ්ටිය පොහෝනේය. මිථ්යාදෘෂ්ටිකහට මිථ්යා සංකල්පය පොහෝනේයි. මිථ්යාසංකල්ප ඇතියහුට මිථ්යාවාක් පොහෝනේයි. මිථ්යාවාක් ඇතියහුට මිථ්යාකර්මාන්ත පොහෝනේය. මිථ්යාකර්මාන්ත ඇතියහට මිථ්යා ආජීවය පොහෝනේය. මිථ්යාආජීවය ඇතියහට මිථ්යාව්යායාමය පොහෝනේය. මිථ්යාව්යායාමය ඇතියහට මිථ්යාස්මෘතිය පොහෝනේය. මිථ්යාස්මෘතිය ඇතියහට මිථ්යාසමාධි පොහෝනේය. මිථ්යාසමාධි ඇතියහට මිථ්යාඥානය පොහෝනේය. මිථ්යාඥානය ඇතියහට මිථ්යාවිමුක්ති පොහෝනේය.