10. 2. 2. 4.
අවෙච්චප්පසන්න සූත්රය
[සැවැත්]
මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්රසාදයෙන් සම්පන්න වෙත් නම් එ හැම ස්රෝතාපන්නයහ. ඒ ස්රොතාපන්නයන්ගෙන් පස්දෙනෙකුන්ගේ මෙලෝහි නිෂ්ඨාව වෙයි. පස්දෙනෙකුගේ නිෂ්ඨාව මෙලෝ හැර වෙයි. මෙලෝහි නිෂ්ඨාව කවර පස්දෙනෙකුගේ ය යත්: සත්තක්ඛත්තුපරමයාගේ ය, කොලංකොලයාගේ ය, ඒකබීජහුගේ ය, සකදාගාමීහුගේ ය, යමෙකුත් ඉහාත්මයෙහි ම අර්හත් වේ නම්, ඔහුගේ ය යි මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොව්හි ම වෙයි.
කවර පස්දෙනෙකුන්ගේ මෙලෝ හැර නිෂ්ඨාව වේ ය යත්: අන්තරාපරිනිබ්බායීහුගේ ය, උපහච්චපරිනිබ්බයීහුගේය, අසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, සසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, අකනිට්ඨගාමී උද්ධංසෝතයාගේ යයි. මේ පස් දෙනාගේ මෙලොව හැර නිෂ්ඨාව වෙයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්රසන්න වෙත් නම් එ හැම සෝතාපන්නයහ. ඒ සෝතාපන්නයන් අතුරෙන් මෙ පස් දෙනාගේ නිෂ්ඨාව මෙහි ම වෙයි. මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොය හැර වේ යයි.
10. 2. 2. 5.
පඨම සුඛ සූත්රය
එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, සුඛ කිමෙක, දුක්ඛ කිමෙකැ”යි.
ඇවැත්නි, අභිනිර්වෘතිය (ඉපැත්ම) දුඃඛය, අනභිනිර්වෘතිය (නොයිපැත්ම) සුඛය යි. ඇවැත්නි, අභිනිර්වෘතිය ඇතිවත් ම මෙ දුඃඛය කැමැති විය යුතු: ශීත ය, උෂ්ණ ය, සා ය, පවස් ය, උච්චාර ය, ප්රස්රාව ය, අග්නිස්පර්ශ ය, දණ්ඩස්පර්ශ ය, ශස්ත්රස්පර්ශ ය යි. ඥාතීහු ද මිත්රයෝ ද එක් රැස්ව කෝප ගන්වත්. ඇවැත්නි, අභිනිර්වෘතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
ඇවැත්නි, අනභිනිර්වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු. ශීත නැත, උෂ්ණ නැත, සා නැත, පවස් නැත, උච්චාර නැත, ප්රස්රාව නැත, අග්නිස්පර්ශ නැත, දණ්ඩස්පර්ශ නැත, ශස්ත්රස්පර්ශ නැත. ඥාතීහු ද මිත්රයෝ ද එක් රැස්ව කෝප නො ගන්වත්. ඇවැත්නි, අනභිනිර්වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු.
10. 2. 2. 6.
දුතිය සුඛ සූත්රය
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්. ශාරීපුත්රයෙනි, මෙ ධර්මවිනයෙහි සුඛ නම් කිමෙක? දුක්ඛ නම් කිමෙකැ”යි.