10. 2. 2. 2.
තෘෂ්ණා සූත්රය
[සැවැත්]
“මහණෙනි, මෙයින් පෙර භවතෘෂ්ණාව නො වී ය. යළි පසුව ඇතිවී යැ”යි භවතෘෂ්ණාවගේ පුරිම කෙළවරක් නො පැනෙයි. මහණෙනි, තෙල මෙසේ කියනු ලැබේ. එතෙකුදුවත් භවතෘෂ්ණාව මේ ප්රත්යයෙනැයි” පැනේ.
මහණෙනි, භවතෘෂ්ණාව ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්ය කොට නො කියමි. භවතෘෂ්ණාවගේ ප්රත්යය කවරේ ය: අවිද්යා ය යි කිවයුතු වෙයි. මහණෙනි, මම අවිද්යාව ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. අවිද්යාවගේ ප්රත්යය කවරේ යැ: පඤ්චනිවරණයහ යි කිවයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනිවරණයනුදු සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. පඤ්චනිවරණයන්ගේ ප්රත්යය කවරේ යැ: ත්රිවිධ දුශ්චරිතයෝ ය යි කිය යුතුය. මහණෙනි, මම ත්රිවිධ දුශ්චරිතයන් ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. ත්රිවිධ දුශ්චරිතයන්ගේ ප්රත්යය කවරේ ය: ඉන්ද්රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්ද්රිය අසංවරය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. ඉන්ද්රිය අසංවරයාගේ ප්රත්යය කවරේ ය: අස්මෘති - අසම්ප්රජන්ය යි කිය යුතු ය. මහණෙනි, මම අස්මෘති - අසම්ප්රජන්ය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. අස්මෘති - අසම්ප්රජන්යයාගේ ප්රත්යය කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කිය යුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ප්රත්යය කවරේ ය: නො ඇදහිලි බව යයි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. නොඇදහිලිබව්හුගේ ප්රත්යය කවරේ ය: අසද්ධර්මශ්රවණය යි කියමි. මහණෙනි, මම අසද්ධර්මශ්රවණය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නො කියමි. අසද්ධර්මශ්රවණයාගේ ප්රත්යය කවරේ ය: අසත්පුරුෂසංසේවය යි කියයුතු වෙයි.
මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවය පරිපූර්ණ වූයේ අසද්ධර්මශ්රවණය පුරයි. අසද්ධර්මශ්රවණය පරිපූර්ණ වූයේ නොඇදහිලි බව පුරයි. නොඇදහිලි බව පරිපූර්ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ අස්මෘති අසම්ප්රජන්යය පුරයි, අස්මෘති අසම්ප්රජන්යය පරිපූර්ණ වූයේ ඉන්ද්රිය අසංවරය පුරයි. ඉන්ද්රිය අසංවරය පරිපූර්ණ වූයේ ත්රිවිධ දුශ්චරිත පුරයි. ත්රිවිධ දුශ්චරිතයෝ පරිපූර්ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්ණ වූවාහු අවිද්යාව පුරත්. අවිද්යාව පරිපූර්ණ වූවා භව තෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්රත්යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලා යන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්වතකන්දර ප්රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්වතකන්දර ප්රදරශාඛා පිරුණාහු කුඩා කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.
මහණෙනි, එපරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්ණ වූයේ අසද්ධර්ම ශ්රවණ පුරයි. අසද්ධර්මශ්රවණය පරිපූර්ණ වූයේ නොඇදහිලිබව පුරයි. නොඇදහිලිබව පරිපූර්ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ අස්මෘති අසම්ප්රජන්යය පුරයි. අස්මෘති අසම්ප්රජන්යය පරිපූර්ණ වූයේ ඉන්ද්රිය අසංවරය පුරයි. ඉන්ද්රිය අසංවරය පරිපූර්ණ වූයේ ත්රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්රිවිධ දුශ්චරිතයෝ පරිපූර්ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්ණ වූවාහු අවිද්යාව පුරත්. අවිද්යාව පරිපූර්ණ වූවාහු භවතෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්රත්යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි.
මහණෙනි, මම විද්යාවිමුක්තිය ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නොකියමි. විද්යාවිමුක්තියගේ ප්රත්යය කවරේ ය: සප්තබෝධ්යඞ්ගය හයි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්තබෝධ්යඞ්ගයන් ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නොකියමි. සප්තබෝධ්යඞ්ගයන්ගේ ප්රත්යය කවරේ ය: සතර සතිපට්ඨානයහ යි. මහණෙනි, මම සතර සතිපට්ඨානයන් ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නො කියමි. සතර සතිපට්ඨානයන්ගේ ප්රත්යය කවරේ ය: ත්රිවිධ සුචරිතයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්රිවිධ සුචරිතයන් ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නො කියමි. මහණෙනි, ත්රිවිධ සුචරිතයන්ගේ ප්රත්යය කවරේ ය: ඉන්ද්රිය සංවරයයි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්ද්රිය සංවරය ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නො කියමි. ඉන්ද්රිය සංවරයාගේ ප්රත්යය කවරේ ය: ස්මෘතිසම්ප්රජන්ය යයි කිය යුතු වෙයි. මහණෙනි, මම ස්මෘතිසම්ප්රජන්ය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නොකියමි. ස්මෘතිසම්ප්රජන්යයාගේ ප්රත්යය කවරේ ය: යෝනිසෝමනසිකාර යයි කිය යුතු වෙයි. මහණෙනි, මම යෝනිසෝමනසිකාර ය ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නොකියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්රත්යය කවරේ ය: ශ්රද්ධා යයි කියයුතු වෙයි. මහණෙනි, මම ශ්රද්ධාව ද සප්රත්යය කොට කියමි. අප්රත්යය කොට නොකියමි. ශ්රද්ධාවගේ ප්රත්යය කවරේ ය: සද්ධර්මශ්රවණ යයි කිවයුතු වෙයි. මහණෙනි, මම සද්ධර්මශ්රවණය ද සප්රත්යය කොට කියමි. නිෂ්ප්රත්යය කොට නොකියමි. සද්ධර්මශ්රවණයාගේ ප්රත්යය කවරේ ය: සත්පුරුෂසංසේව යයි කියයුතු වෙයි.