10. 2. 1. 9.
පබ්බජ්ජා සූත්රය
[සැවැත්]
මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුතු: අපට පැවිද්දට නිසි සේ පුරුදු කළ සිතෙක් වන්නේ ය, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහ, අනිත්යසංඥාවට පුරුදු කළ සිත අපට වන්නේ ය, අනාත්මසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, අශුභසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ආදීනවසංඥායෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සමය හා විසමය ද දැන ඒ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සම්භවය හා විභවය හා දැන එ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, පඤ්චස්කන්ධ ලෝකයාගේ සමුදය ද අස්තගමය ද දැන ඒ සංඥායෙහි පරිචිත වූ සිත අපට වන්නේ ය, ප්රහාණසංඥායෙහි පරිචිත චිත්තය අපට වන්නේ ය, විරාගසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය, නිරෝධසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණෙනි, යම් කලෙක සිට මහණහට පැවිද්දට නිසි කොට පුරුදු කළ සිත වේ ද, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහු ද, අනිත්යසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අනාත්මසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අශුභසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ආදීනවසංඥායෙහි පරිචිත සිතත් වේ ද, සත්ත්වලෝකයාගේ සම විසමත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සම්භව විභව දෙකත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සමුදය අස්තගමයත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ප්රහාණසංඥායෙහි පරිචිත සිතත් වේ ද, විරාගසංඥායෙහි පරිචිත සිතත් වේ ද, නිරෝධසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ඔහට ඉහාත්මයෙහි අර්හත්වය හෝ උපාදිශේෂය ඇති වත් ම අනාගාමිත්වය හෝ යි උභය ඵලයන්ගෙන් අන්යතර ඵලයක් කැමැති වියයුතු යි.
10. 2. 1. 10.
ගිරිමානන්ද සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගිරිමානන්ද තෙරණුවෝ හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් බැව් ඇතියාහු වෙත්. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, ආයුෂ්මත් ගිරිමානන්ද තෙරණුවෝ උපන් ආබාධ ඇතියාහු පැමිණි දුක් ඇතියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙත්. වහන්ස, භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා වඩනා සේක් නම් මැනැව යි.
ආනන්දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්ද මහණහු වෙත එළැඹ දශ සංඥා කියහු නම්, යම්හෙයෙකින් දශසංඥා අසා ගිරිමානන්ද මහණහුගේ ඒ ආබාධය හේතු විසින් සන්හිඳෙන්නේ යන තෙල කරුණ ඇත.
කවර දශයෙක යත්:
අනිත්යසංඥා යැ, අනාත්මසංඥා යැ, අශුභසංඥා යැ, ආදීනවසංඥා යැ, ප්රහාණසංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධසංඥා යැ, හැමලෝහි අනභිරතසංඥා යැ, සවුසකරන්හි අනිත්යසංඥා යැ, ආනාපාන සති යැ යි.