10. 2. 1. 8.
මූලක සූත්‍රය
[සැවැත්]
ඉදින් මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇද්ද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇද්ද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇද්ද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇද්ද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇද්ද? හැම දහම්හු කුමක් සාර කොට ඇද්ද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇද්දැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනැව. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇතියහුද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇතියහුද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සාර කොට ඇතියහුද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇතියහුදැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව:
ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ. හැම දහම්හු මනසිකාරය සම්භව ඇතියහ. හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇතියහ. හැම දහම්හු වේදනාව සමවසරණ කොට ඇතියහ. හැම දහම්හු සමාධිය පාමොක් කොට ඇතියහ. හැම දහම්හු ස්මෘතිය අධිපති කොට ඇතියහ. හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇතියහ. හැම දහම්හු විමුක්තිය සාරකොට ඇතියහ. හැම දහම්හු නිවනට වදනාහ. හැම දහම්හු නිවන අවසන් කොට ඇතියහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියවු යි.
10. 2. 1. 9.
පබ්බජ්ජා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුතු: අපට පැවිද්දට නිසි සේ පුරුදු කළ සිතෙක් වන්නේ ය, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහ, අනිත්‍යසංඥාවට පුරුදු කළ සිත අපට වන්නේ ය, අනාත්මසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, අශුභසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ආදීනවසංඥායෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සමය හා විසමය ද දැන ඒ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සම්භවය හා විභවය හා දැන එ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, පඤ්චස්කන්‍ධ ලෝකයාගේ සමුදය ද අස්තගමය ද දැන ඒ සංඥායෙහි පරිචිත වූ සිත අපට වන්නේ ය, ප්‍රහාණසංඥායෙහි පරිචිත චිත්තය අපට වන්නේ ය, විරාගසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය, නිරෝධසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු.