10. 2. 1. 5.
පරිහාන සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, පිරිහෙන සැහැවි ඇති පුඟුලාය, පිරිහෙන සැහැවි ඇති පුඟුලා යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද? ‘කෙතෙක් කරුණින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇත්තේය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද?
“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නට දුර සිට වුවත් පැමිණෙම්හ. එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ම වැටහේ නම් මැනැව. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ” යි.
ඇවැත්නි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි ඇවැත්නි, එසේයයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් පුඟුල් පිරිහෙන සැහැවි ඇතියේ යි වදාරණ ලද්දේ ය යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශ්‍රැත ධර්‍මයක් නො අසන්නේ ය. ඔහු විසින් අශ්‍රැත ධර්‍මයෝත් සම්මෝහයට යෙත්. යම් දහම් කෙනෙකුන් පෙර ඔහු විසින් සිතින් පහස්නා ලද විරූ නම් ඔහුත් උදා නො වෙත්. අවිඥාතයත් නො දන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.
ඇවැත්නි, කෙතෙකින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇතැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අශ්‍රැත ධර්‍මය ද අසන්නේ ය. ඔහු විසින් ශ්‍රැත ධර්‍මයෝ ද සම්මෝහයට නො යෙත්. යම් ධර්‍ම කෙනෙකුත් ඔහු විසින් පෙර සිතින් නො පහස්නා ලද විරූ නම් ඔහු ද උදා වෙත්. අවිඥාතය ද දැනගන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුද්ගල අපරිහානධර්‍ම ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.
ඇවැත්නි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමි යි, ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
ඇවැත්නි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් සේ දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක් හෝ පහන් දියබඳුනෙක හෝ තම මුව නිමිති පිරික්සනුයේ ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේව යි දක්නේ නම් ඒ රජස හෝ තල කැලල හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ තල කැලලක් නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක්, එකැතින් මා මුව පිරිසිදු ය යි එයින් ම තුටු සිත් ඇත්තේ වෙයි. ඇවැත්නි, එසෙයින් ම භික්‍ෂූහට කුශලධර්‍මයන්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි.
අනභිජ්ඣාලූයෙම් බොහෝ කොට වෙසෙම් ද මට තෙල දහම විද්‍යමාන ද, නොහොත් අවිද්‍යමාන දැ යි. අව්‍යාපන්න චිත්තයෙම් බොහෝ කොට වෙසෙමි ද. මට තෙල දහම විද්‍යමාන වේ ද, නොහොත් අවිද්‍යමාන වේ දැ යි. විගතථිනමිද්ධයෙම් බහුලකොට වෙසෙම් ද. මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල ධර්‍මය ඇත්තේ දැයි, නැතහොත් නැත්තේ දැ යි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙම් මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. නොකිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. නොකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. අධ්‍යාත්මයෙහි ධර්‍මප්‍රමෝද්‍යය ලබන සුලු වෙම් ද, මටතෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථ ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නැතහොත් නැත්තේ ද, අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නොහොත් නැත්තේ දැ යි.
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් කටයුතු. ඇවැත්නි, යම් සේ ඇවිළගත් පිළී ඇතියේ වේව යි, ඇවිළගත් හිස ඇතියේ වේව යි, එම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයක් හා කරන්නේ ය. ඇවැත්නි, ඒ පරිදි ම ඒ මහණහු විසින් මේ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.