10. 2. 1. 6.
ප්‍රථම සංඥා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
අශුභසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අනිත්‍යසංඥා යැ අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ දුඃඛයෙහි අනාත්මසංඥා යැ ප්‍රහාණසංඥා යැ විරාගසංඥා යැ නිරෝධසංඥා යි. මහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු නිවනට වදනාහු නිවන අවසන් කොට ඇත්තාහු වෙත් යී.
10. 2. 1. 7.
දුතිය සඤ්ඤා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
අනිත්‍යසංඥා යැ අනාත්මසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අස්තිකසංඥා යැ පුලවකසංඥා යැ විනීලකසංඥා යැ විච්ඡිද්දකසංඥා යැ උද්ධුමාතකසංඥායි.
මහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත් යී.
10. 2. 1. 8.
මූලක සූත්‍රය
[සැවැත්]
ඉදින් මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇද්ද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇද්ද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇද්ද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇද්ද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇද්ද? හැම දහම්හු කුමක් සාර කොට ඇද්ද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇද්දැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනැව. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: