ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: චක්‍ෂුස අනාත්ම ය, රූප අනාත්ම ය, ශ්‍රෝතස අනාත්ම ය, ශබ්ද අනාත්ම ය, ඝ්‍රාණය අනාත්ම ය, ගන්‍ධ අනාත්ම ය, ජිහ්වා අනාත්ම ය, රස අනාත්ම ය, කය අනාත්ම ය, ස්පර්ශය අනාත්ම ය, මනස අනාත්ම ය, ධර්‍ම අනාත්ම ය” යි මෙසේ මේ ස වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අනාත්මසංඥා යි කියනු ලැබේ.
3. ආනන්‍දයෙනි, අශුභසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ පා තලින් උඩ, කෙස්මතුයෙන් යට සම හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් පිරි මෙම කය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය: මේ කායයෙහි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය. මාංස ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩු ය, හෘදය ය, අක්මා ය, දලබු ය, බඩදිව ය, පපුකැණ ය, අතුනු ය, අතුනුබහන ය, ඖදර්‍ය්‍ය ය, පුරීෂ ය, පිත් ය, ශ්ලේස්මා ය, පූයා ය, ලේ ය, සෝදිය ය, මේදස් ය, කඳුළු ය, වුරුණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මිදුලු ය, මූ ය යන මොහු ය ඇතැයි මෙසේ මෙ කයෙහි අශුභානුදර්ශි ව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අශුභසංඥාය යි කියනු ලැබේ.
4. ආනන්‍දයෙනි, ආදිනවසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේ ය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරයහත්: චක්ඛුරෝග ය, සෝතරෝග ය, ඝානරෝග ය, ජීව්හාරෝග ය, කායරෝග ය, සීසරෝග ය, කණ්ණරෝග ය, මුඛරෝග ය,
දන්තරෝග ය, කාස ය, ශ්වාස ය, පිනාස ය, දාහ ය, ජ්වර ය, කුච්ඡිරෝග ය, මූර්ඡා ය, පක්ඛන්‍දිකා ය, ශූලා ය, විශූචිකා ය, කුෂ්ට ය, ගණ්ඩ ය, කිලාස ය, ස්වාස ය, අපස්මාර ය, දද්දු ය, කණ්ඩු ය, කච්ඡු ය, රඛසා ය, විතච්ඡිකා ය, ලෝහිතපිත්ත ය, මධුමේහ ය, අංස ය, පිළකා ය, භගන්‍දරා ය, පිතින් උපදනා ආබාධ ය, සෙමෙන් උපදනා ආබාධ ය, වාතයෙන් උපදනා ආබාධ ය, සන්නිපාතික ආබාධ ය, ඍතුපරිණාමයෙන් වන ආබාධ ය, විෂමපරිහාරයෙන් උපදනා ආබාධ ය, ශිත ය, උෂ්ණ ය, සා ය, පවස ය, උච්චාර ය, පස්සාව ය යී. මෙසේ මෙ කාහි ආදීනවානුදර්ශී ව වෙසෙයි. ආනන්‍දයෙනි, මේ ආදීනවානුසංඥා යි කියනු ලැබේ.
5. ආනන්‍දයෙනි, ප්‍රහාණසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක නො ඉවසයි. දුරලයි, විනෝදනා කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් විහිංසාවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. ආනන්‍දයෙනි, මේ ප්‍රහාණසංඥායි කියනු ලැබේ.
6. ආනන්‍දයෙනි, විරාගසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍වසංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ විරාගසංඥා යි කියනු ලැබේ.
7. ආනන්‍දයෙනි, නිරෝධසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍ව සංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ නිරෝධසංඥා යි කියනු ලැබේ.