10. 1. 5. 9.
ශරීරට්ඨධම්ම සූත්රය
[සැවැත්]
මහණෙනි, මේ ශරීරස්ථධර්ම දසදෙනෙකි. කවර දසදෙනෙක යත්: ශීත හා උෂ්ණ හා ක්ෂුධා හා පිපාසා හා උච්චාර හා ප්රස්රාව හා කායසංවර හා වාක්සංවර හා ආජීවසංවර හා පුනර්භව කරන භවසංස්කාර හා යි. මහණෙනි, මේ දස දහම්හු ශරීරස්ථ යි.
10. 1. 5. 10.
භණ්ඩන සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවත අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ මහණහු පසුබත පිඬුවායෙන් වැළකියාහු උවටන් හල්හි රැස්ව හුන්නාහු සන්නිපතිත වූවාහු හටගත් පූර්වභාග කලහ ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් කල පිළිසලනින් නැගි සේක් උවටන්හල් කරා වැඩි සේක. වැඩ ප්රඥප්තාසනයෙහි හුන් සේක. හිඳ භාග්යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, දැන් කවර කථායෙකින් හුන්නා ව? තොප විසින් කවර අතුරු කථායෙක් අඩාළ කරන ලද දැ” යි?
“වහන්ස, අපි මේ සැවැත පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ උවටන් හල්හි හුන්නමෝ රැස්වූවමෝ හටගත් පූර්වභාග කලහ ඇතියමෝ හටගත් කලහ ඇතියමෝ විරුද්ධවාදයට පැමිණියමෝ උනුන් මුවසැතින් පෙළමින් වසම්හ”‘යි.
මහණෙනි, යම් හෙයකින් තෙපි හටගත් පූර්වභාග කළහ ඇතියහු, හටගත් කළහ ඇතියහු විවාදාපන්න වූවහු උනුන් මුවසැතින් පෙළමින් වසවු නම් මෙය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්ය්ය ශාසනයෙහි පැවිදි වූ කුලපුත් තොපට නුසුදුසු මැ යි.
මහණෙනි, මේ දස ධර්ම කෙනෙක් සාරාණීය වූවහු ප්රියභාවය කරන්නාහු ගුරුභාවය කරන්නාහු සඞ්ග්රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක් බව පිණිස වටනාහ. කවර දස දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ආචාරගෝචර සම්පන්න වූයේ පාමොක් සංවරසිලින් සංවෘත ව වෙසෙයි. අණුමාත්ර වරදෙහිදු බිය දක්නාසුලු වැ සිකපෙදෙහි සමාදන් කොට ගෙන හික්මෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සිල්වත් වේ ද ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මේ ද, මෙ දහමද සාරාණීය යී. ප්රිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක් බව පිණිස වැටෙයි.