5. අක්කෝස වර්‍ගය
10. 1. 5. 1.
විවාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් සඞ්ඝයාගේ භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම් භික්‍ෂූහු ද පහසු සේ නො වෙසෙත් නම් ඒ හේතු කවර, ඒ ප්‍රත්‍යය කවරැ? යි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්, ධර්‍මය අධර්‍මයයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්, භාග්‍යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචිර්‍ණයයි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, යම් හෙයෙකින් සඞ්ඝයා කෙරෙහි භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම්, භික්‍ෂුහු ද පහසු සේ නො වෙසෙත් නම් මේ ඒ හේතු ය, මේ ඒ ප්‍රත්‍යය යි.
10. 1. 5. 2.
ප්‍රථම විවාදමූල සූත්‍රය
[සැවැත්නිදාන යි]
වහන්ස, විවාද මූලයෝ කෙතෙක් දැයි?
උපාලියෙනි, විවාදමූලයෝ දසයෙක. කවර දසයෙක යත්: උපාලි මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍ම යයි දක්වත්, ධර්‍මය අධර්‍ම යයි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිත යයි දක්වත්, තථාගතයන් විසින් භාෂිතය ලපිතය අභාෂිත ය අලපිත යයි දක්වත්. තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, මේ දස විවාදමූලයෝ යි.
10. 1. 5. 3.
දුතිය විවාදමූල සූත්‍රය
[සැවැත්නිදාන යි]
වහන්ස, විවාදමූල කෙතෙක් දැයි?
උපාලියෙනි, විවාදමූල දසයෙකි. කවර දසයෙක යත්: උපාලියෙනි, මෙසස්නෙහි භික්‍ෂූහු අනාපත්තිය ආපත්ති යයි දක්වත්, ආපත්තිය අනාපත්ති යයි දක්වත්, ලහුකාපත්තිය ගරුකාපත්ති යයි දක්වත්, ගරුකාපත්තිය ලහුකාපත්ති යයි දක්වත්, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, සාවසේසාපත්තිය අනවසේසාපත්ති යයි දක්වත්, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යයි දක්වත්, සප්පටිකම්මාපත්තිය අප්පටිකම්මාපත්තිය යයි දක්වත්, අප්පටිකම්මාපත්තිය සප්පටිකම්මාපත්තිය යයි දක්වත්, උපාලියෙනි, මේ දසවිවාදමූල යි.