10. 1. 5. 8.
දසධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ දහම් දස දෙනෙක් පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ. කවර දස දෙනෙක යත්:
1. ‘විවර්‍ණභාවයට පැමිණියෙම් වෙමි’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
2. ‘මගේ දිවි වැටුම් පරා අයත්ය’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි.
3. ‘මා විසින් අන්‍ය වූ ආකල්පයෙක් කටයුතු’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
4. ‘කිමෙක මාගේ සිත සීලහේතුයෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
5. “කිමෙක විඥ සබ්‍රම්සරහු කරුණු දැන සීලහේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
6. ‘ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
7. “කර්‍මය ස්වකීය කොට ඇතියෙම් කර්‍මය දායාද කොට ඇතියෙම් කර්‍මය යෝනි කොට ඇතියෙම් කර්‍මය බන්‍ධු කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ පාපක වූ හෝ යම් ම කර්‍මයක් කෙරෙම් නම් එයට දායාද වෙමි”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
8. “කෙබඳු වූ මට රෑ දාවල් හු ඉක්ම යෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
9. “කිමෙක මම් ශුන්‍යාගාරයෙහි සිත් අලවා වෙසෙම් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
10. “උතුරුමිනිස්දමින් වැඩි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශන විශේෂයෙක් ම විසින් අධිගත වූයේ ඇද්දැයි ඒ මම් පැසුළු කල්හි සබ්‍රම්සරුන් විසින් පුළුවුස්නා ලදුයෙම් නිතෙද නො වෙමැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
මහණෙනි, පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු මේ ධර්‍ම දසදෙනා යි.
10. 1. 5. 9.
ශරීරට්ඨධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ශරීරස්ථධර්‍ම දසදෙනෙකි. කවර දසදෙනෙක යත්: ශීත හා උෂ්ණ හා ක්‍ෂුධා හා පිපාසා හා උච්චාර හා ප්‍රස්‍රාව හා කායසංවර හා වාක්සංවර හා ආජීවසංවර හා පුනර්‍භව කරන භවසංස්කාර හා යි. මහණෙනි, මේ දස දහම්හු ශරීරස්ථ යි.