10. 1. 5. 7.
මහාලි සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවන කුළාරහල්හි වැඩ වෙසෙති. එසඳ මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව ව හින. එකත්පස් ව හුන් මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
වහන්ස, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ලෝභය හේතු වන්නේ ය. ලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ද්වේෂය හේතු වන්නේ ය. ද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මෝහය හේතු වන්නේ ය. මෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි අයෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය. අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි නො සෙ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. නො සෙ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මේ හේතු වන්නේ ය. මේ ප්‍රත්‍යය වන්නේ යයි.
වහන්ස, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණ කර්‍ම පවත්නට වේව යි හේතු කවරෙ ය? ප්‍රත්‍යය කවරේය?
මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි අලෝභය හේතු වන්නේ ය. අලෝභය ප්‍රත්‍යය වන්නේ ය: මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි, අදෝෂය ... අමෝහය හේතු වන්නේ ය. අමෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි, යෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය, යෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය, මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි මනාසේ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. මනාසේ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි මේ හේතු වන්නේ ය, මේ ප්‍රත්‍ය වන්නේ ය.
මහාලිය, ලොව්හි මේ දශධර්‍මයෝ නො වැටෙන්නාහු නම් (අකුශලකර්‍මපථාඛ්‍ය) අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ (දශකුශලකර්‍මපථාඛ්‍ය) ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ යන මෙය නො පැනෙන්නේ ය. මහාලිය, යම් හෙයෙකින් ලොව්හි මේ දසදහම්හු වැටෙත් ද එහෙයින් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ පැනෙන්නේ යි.
10. 1. 5. 8.
දසධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ දහම් දස දෙනෙක් පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ. කවර දස දෙනෙක යත්:
1. ‘විවර්‍ණභාවයට පැමිණියෙම් වෙමි’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
2. ‘මගේ දිවි වැටුම් පරා අයත්ය’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි.
3. ‘මා විසින් අන්‍ය වූ ආකල්පයෙක් කටයුතු’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.