10. 1. 5. 5.
රාජන්තෙපුරප්පවේසන සූත්‍රය
[සැවැත්]
මහණෙනි, රාජාන්තඃපුරප්‍රවෙෂයෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
1. මහණෙනි, රජ තෙම මෙහෙසිය හා සමග හුන්නේ වෙයි, මහණ එහි පිවිසෙයි. මෙහෙස්න හෝ මහණහු දැක සිනහ පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙස්න දැක සිනහ පාළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි: “එකැතින් මොවුන් විසින් අසද්ධර්‍ම කෙළේ දෝ හෝ කරත් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පළමුවන ආදීනව යි.
2. තව ද මහණෙනි, රජ බහුකෘත්‍ය ව බහුකරණීය ව සිට අන්‍යතර ස්ත්‍රියක කරා ගොස් සඳහන් නො කෙරෙයි. ඕ එයින් ගැබ් ගනියි. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මේ ඇතොරට පැවිද්දකු විනා අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි මේ දෙවෙනි ආදීනව යි.
3. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි අන්‍යතර රත්නයෙක් නස්නේ ය. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි තෙවන ආදීනවය යි.
4. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි වූ අභ්‍යන්තර ගුහ්‍යමන්ත්‍රණයෝ බැහැර පළට බවට යෙත්. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දකු මිස අන් කිසිවෙක් නො වදනේ ය, පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සතරවන ආදීනව යි.
5. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි පියා හෝ පුතු නස්නා පතයි. පුතා හෝ පියා නස්නා පතයි. ඔවුනට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පස්වන ආදීනවය යි.
6. තව ද මහණෙනි, රජ යටතට නිසියකු උස්තැන තබයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසඟ වෙයි, පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි, මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සවන ආදීනව යි.
7. තව ද මහණෙනි, රජ උස්තැනට නිසියහු යටත් තැන තබන්නේ ය. යම් කෙනකුන්ට එය අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සත්වන ආදීනව යි.
8. තව ද මහණෙනි, රජ අකාලයෙහි සෙන් මෙහෙයයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි අටවන ආදීනව යි.
9. තව ද මහණෙනි, රජ නිසිකල සෙන් මෙහෙයා අතරමඟින් නවත්වා ලයි. යම් කෙනෙකුට ඒ අමනාප වේද ඔවුනට මෙසේ සිත් වෙයි. “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි නවවන ආදීනව යි.
10. තව ද මහණෙනි, රජුගේ ඇතොර හස්තිසම්මර්දය අශ්වසම්මර්දය රථසම්මර්දය වෙයි. පැවිද්දනට නොසරුප් යම් රූපාදීහු ඇද්ද රජනීය වූ ඒ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත. මහණෙනි, මෙ ඇතොරට වැදීමෙහි දසවන ආදීනව යි.
මහණෙනි, ඇතොරට වැදීමෙහි මේ දස ආදීනවයෝ යි.
10. 1. 5. 6.
සකක්‍ය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිල වාස්තුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල බොහෝ සැහැ උවසුවෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස් ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සැහැ උවසුවනට තෙල වදාළ සේක: “ශාක්‍යයෙනි, තෙපි අටඟින් යුතු පෙහෙවස් වසවුදැ”යි
වහන්ස, අපි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසම්හ. කිසි දිනෙක නො වසම්හ යි. ශාක්‍යයෙනි, යම් බඳු තෙපි මෙසේ ශෝකයෙන් බිය ඇති දිවි වැටෙත් ම මරණයෙන් බිය ඇති දිවිවැටෙත් ම කිසි දිනක අෂ්ටාඞ්ග සමන්‍වාගත පෙහෙවස් වසව් නම් කිසි දිනක නො වසව් නම් ඒ තොපට අලාභයෙක. ඒ තොපට නපුරු කොට ලැබීමෙක. ශාක්‍යයෙනි, ඒ කෙසේ හඟිව් ද? මෙලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට අඩකහවණුවක් උපදවන්නේ ය. දක්‍ෂ පුරුෂයෙක. උත්‍ථාන වීර්‍ය්‍යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස එසේය.