10. 1. 5. 4.
කුසිනාරා සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබ්හි වාසය කරනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
මහණෙනි, මෙරමාහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කොට තමා කෙරෙහි කරුණු පසක් එළවා මෙරමා චෝදනා කළයුතු. කවර කරුණු පසෙක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ යැ යත්:
මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි වූ පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයෙම් පරිශුද්ධ කායසමාචාර ඇතියෙම් දැයි, තෙල දහම මට විද්‍යමාන වේ ද නො හොත් අවිද්‍යාමානවේදැයි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ කායසමාචාරය ඇතියේ නො වේද ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ම කායිකසමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙත්. මෙසේ ඔහට කියන්නාහු වෙත් මැයි.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගතයෙම් පරිශුද්ධ වාක්සමාචාර ඇතියෙම් ද, මට තෙල දහම විද්‍යමාන වේ ද නැතහොත් අවිද්‍යමාන වේදැ”යි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ වාක්සමාචාරය ඇතියේ නො වේ නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමුව වාක්සමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද මට තෙල දහම විද්‍යමාන වේද නොහොත් අවිද්‍යමාන වේ දැ”යි. ඉදින් මහණහුගේ ආඝාත විරහිත මෙත් සිත සබ්‍රම්සරුන් කෙරෙහි එළඹ නො සිටියේ නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි මෙත්සිත පිහිටුව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු වෙත්ම ය.
තව ද මහණෙනි, අන්හට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “ශ්‍රැතධර වූයෙම් ශ්‍රැතසන්නිචය ඇතියෙම් බහුශ්‍රැතයෙම් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම් මා විසින් එබඳු දහම්හු ධෘත වූවාහු බහුශ්‍රුත වෙත් ද, වචනයෙන් පරිචිත වෙත් ද, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත් ද ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් ද මට තෙල දහම විද්‍යමාන ද නැත හොත් අවිද්‍යමාන දැ”යි. ඉදින් මහණ ශ්‍රැතධර වූයේ, ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත නො වේ නම් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පාරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධෘත-බහුශ්‍රුත නො වෙත් නම් වචනයෙන් පරිචිත නො වෙත් නම් මනසින් අනුප්‍රේක්‍ෂිත නො වෙත් නම් දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ නො වෙත් නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ව ආගමය පිරිවහව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙත්.
තව ද මහණෙනි, අනිකකුට චෝදනා කරනු කැමැති චෝදක මහණ විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “මට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුඛ්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත වෙත් ද මට තෙල දහම් විද්‍යමාන ද නැත හොත් අවිද්‍යමාන දැ”යි. ඉදින් මහණහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත නො වෙත් නම් “ආයුෂ්මත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දෙසන ලද දැ”යි. මෙසේ පුළුවුස්නා ලදුයේ නො සපයා නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව විනයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති. මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ.
කවර පඤ්ච ධර්‍ම කෙනෙක් අධාත්මයෙහි එළවිය යුතුවහ යත්: නො කල්හි නොව කල්හි ම කියනෙමි අභූතයෙන් නොව භූතයෙන් කියනෙමි. පරුෂයෙන් නොව මොළොකින් කියනෙමි. අනර්‍ත්‍ථසංහිත ව නොව අර්‍ත්‍ථසංහිත ව කියනෙමි. දුෂ්ට චිත්තයෙන් නොව මෙත්සිත් ඇතියෙම් කියනෙමි මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි එළවිය යුතු වෙත්.
මහණෙනි, චෝදක මහණහු විසින් මෙ පස් දහම් තමා තුළ ප්‍රත්‍යවේක්‍ෂා කොට මේ පස් දහම් තමා තුළ එළවා පරා චෝදනා කටයුත්තේ යි.