10. 1. 4. 7.
සඞ්ඝභේද සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් ආචීර්‍ණය තථාගත විසින් අනාචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්‍ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.
10. 1. 4. 8.
සඞ්ඝ සාමග්ගී සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගි යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ දැයි?
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍ම යයි දක්වත්. ධර්‍මය ධර්‍මයයි දක්වත්, අවිනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිත අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, වෙන්ව කර්‍ම නො කෙරෙත්, වෙන්ව ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත්, උපාලියෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ.