4. උපාලි වර්ගය
10. 1. 4. 1.
උපාලි සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, කෙතෙක් කරුණු පිණිස භාග්යවතුන් වහන්සේ විසින් ශ්රාවකයනට ශික්ෂාපද පනවන ලද ද? පාමොක් උදෙසන ලද දැ යි?
උපාලි, කරුණු දසයක් පිණිස තථාගතයන් විසින් ශ්රාවකයනට ශික්ෂාපද පනවන ලද පාමොක් උදෙසන ලදී. කවර දසයෙක යත්: සඞ්ඝයාගේ සෞෂ්ටවය පිණිස ය, සඞ්ඝයාගේ පහසුබව පිණිස ය, දුසිල් පුද්ගලයනට නිග්රහ පිණිස ය, ප්රියශීල භික්ෂූන්ගේ පහසුවිහරණය පිණිස ය, දෘෂ්ටධාර්මික ආස්රවයන්ගේ සංවරය පිණිස ය, සාම්පරායික ආස්රවයන් නැසීම පිණිස ය, අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස ය, ප්රසන්නයන්ගේ භූයෝභාවය පිණිය ය, සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස ය, විනයානුග්රහය පිණිස යි.
උපාලි, මෙ කරුණු දසය පිණිස තථාගතයන් විසින් ශ්රාවකනයට ශික්ෂාපද පනවන ලද, පාමොක් උදෙසනලදැ යි.
10. 1. 4. 2.
පාතිමොක්ඛට්ඨපන සූත්රය
[සැවැත්]
වහන්ස, පාමොක් තැබීම්හු කෙතෙකැයි?
උපාලි, පාමොක් තැබීම්හු දසයෙක. කවර දසයෙක යත්: පරිජි අවන්නෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පාරාජික කථාව කොට අඩහළ වෙයි, අනුපසපනෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, අනුපසම්පන්නකථාව කොට අඩහළ වෙයි, ශික්ෂාප්රත්යාඛ්යාන කෙළේ එ පිරිස්හි හුන්නේ වෙයි, ශික්ෂාප්රත්යාඛ්යාන කළහු පිළිබඳ කථාව කොට අඩහළ වෙයි, පණ්ඩකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පණ්ඩකකථාව කොට අඩහළ වෙයි, භික්ෂුණීදූෂකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, භික්ෂුණීදූෂක කථාව කොට අඩහළ වෙයි, උපාලි, මේ දස පාමොක් තැබීම්හු වෙති යි.
10. 1. 4. 3.
උබ්බාහිකා සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් ධර්මයෙන් සමන්වාගත මහණෙක් උබ්බාහිකායෙන් සම්මත කළයුතු වේද?
උපාලි, දශ ධර්මයෙන් සමන්වාගත මහණ උබ්බාහිකායෙන් සම්මත කටයුත්තේ ය: කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්ර වරදෙහිදු බියදක්නා සුලුයේ ශික්ෂාපදවිෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. ශ්රැතධර වූයේ ශ්රැත සන්නිචය ඇතියේ බහුශ්රුත වෙයි. ආදි කල්යාණ වූ මධ්යයෙහි කල්යාණ වූ පර්ය්යවසානයෙහි කල්යාණ වූ සාර්ත්ථ සව්යඤ්ජන වූ යම් ඒ ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ, පරිශුද්ධ, බ්රහ්මචර්ය්යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්මයෝ බහුශ්රුත වෙති, ධෘතවෙති, වචනයෙන් පරිචිත වෙති, මනසින් අනුප්රේක්ෂිත වෙත්, ප්රඥා දෘෂ්ටියෙන් සුප්රතිවිද්ධ වෙති, ඔහට උභය ප්රාතිමොක්ෂයෝ විස්තර විසින් ස්වාගත වෙති, සූත්ර විසින් ද අනුව්යඤ්ජන විසින් ද ස්විභක්ත වූවාහු මොනොවට පවත්නාහු සුවිනිශ්චිත වෙති. අසංයතවචනමාත්රයෙන් ස්වලබ්ධිය නො හරනේ විනයෙහි සිටියේ වෙයි. උභය අර්ත්ථාපේක්ෂකයන් හඟවනට දන්වනුවට දක්වනුවට බලවනුවට පහදවනුවට ප්රතිබල වෙයි. චතුර්විධාධිකරණ සමුත්පාදය සන්හිඳුවීමෙහි කුශල වේ. අධිකරණය දන්නේ ය, අධිකරණ සමුදය දන්නේ ය, අධිකරණ නිරෝධය දන්නේ ය, අධිකරණනිරෝධගාමිනීපටිපදා දන්නේ යි. උපාලියෙනි, මේ දසදහමින් සමන්වාගත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළයුත්තේ යි.
10. 1. 4. 4.
උපසම්පදා සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් ධර්මයෙන් සමන්වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු දැයි?
උපාලි, දශ ධර්මයෙකින් සමන්වාගත වූ මහණහු විසින් උපසම්පදාව කළ යුතු ය. කවර දශයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාස කෙරෙයි. අණුමාත්ර වූද වරදෙහි බියදක්නා සුලුයේ සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ශ්රැතධර වූයේ ශ්රැතසන්නිචය ඇතියේ බහුශ්රුත වෙයි. ආදියෙහි කල්යාණ වන, මධ්යයෙහි කල්යාණ වන පර්ය්යාවසානයෙහි කල්යාණ වන සාර්ත්ථ සව්යඤ්ජන වූ යම් ඒ ධර්මයෝ කේවල පරිශුද්ධ බ්රහ්මචර්ය්යය පවසත් නම්, ඔහු විසින් එබඳු ධර්මයෝ ධෘත වූවාහු බහුශ්රුත වෙති. වචනයෙන් පරිචිත වූහු මනැසින් අනුප්රේක්ෂිත වූහු දිටුහයෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.