10. 1. 4. 8.
සඞ්ඝ සාමග්ගී සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගි යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ දැයි?
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍ම යයි දක්වත්. ධර්‍මය ධර්‍මයයි දක්වත්, අවිනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිත අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, වෙන්ව කර්‍ම නො කෙරෙත්, වෙන්ව ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත්, උපාලියෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ.
10. 1. 4. 9.
ප්‍රථම ආනන්‍ද සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, සඞ්ඝ භේදය, සඞ්ඝ භේදය යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ දැයි?
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මය යි දක්වත්. ධර්‍මය අධර්‍මය යි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණය යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්තයයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්තයයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, ආවෙනි කර්‍ම කෙරෙත්, ආවෙනි ප්‍රාතිමෝක්‍ෂය උදෙසත්, ආනන්‍දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ.
වහන්ස, සමග සඞ්ඝයා බිඳුවා හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
ආනන්‍දයෙනි, සමග සඞ්ඝයා බිඳුවා හේ කල්පස්ථායී පාපවිපාකය ප්‍රසව කෙරෙයි.
වහන්ස, කල්පස්ථායී කිල්විෂය නම් කවර?
ආනන්‍දයෙනි, ආයුෂ්කල්පයක් නිරෑහි පැසේ යයි.
1. අධර්‍මයෙහි සිටුනා භේදයෙහි ඇලුණු අපායට යන සුලු නිරයෙහි උපදනා කල්පස්ථායී සඞ්ඝ භේදකයා යෝගක්‍ෂේම සංඛ්‍යාත අර්‍හත්‍වයෙන් පිරිහෙයි. සමග සඟුන් කපක් නිරෑහි පැසේ යයි.