10. 1. 4. 4.
උපසම්පදා සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් ධර්මයෙන් සමන්වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු දැයි?
උපාලි, දශ ධර්මයෙකින් සමන්වාගත වූ මහණහු විසින් උපසම්පදාව කළ යුතු ය. කවර දශයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාස කෙරෙයි. අණුමාත්ර වූද වරදෙහි බියදක්නා සුලුයේ සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ශ්රැතධර වූයේ ශ්රැතසන්නිචය ඇතියේ බහුශ්රුත වෙයි. ආදියෙහි කල්යාණ වන, මධ්යයෙහි කල්යාණ වන පර්ය්යාවසානයෙහි කල්යාණ වන සාර්ත්ථ සව්යඤ්ජන වූ යම් ඒ ධර්මයෝ කේවල පරිශුද්ධ බ්රහ්මචර්ය්යය පවසත් නම්, ඔහු විසින් එබඳු ධර්මයෝ ධෘත වූවාහු බහුශ්රුත වෙති. වචනයෙන් පරිචිත වූහු මනැසින් අනුප්රේක්ෂිත වූහු දිටුහයෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.
ඔහට ප්රාතිමෝක්ෂ විස්තර විසින් ස්වාගත වෙයි. සූත්ර විසිනුදු අනුව්යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පැවැත්තේ සුවිනිශ්චිත වෙයි. ගිලනහු උවටනුවට හෝ උවටන් කරනුවට ප්රතිබල වෙයි. උකටලීබව දුරැලීමට වේවයි ප්රතිබල වෙයි. උපන් කුකුස් ධර්මයෙන් සන්හිඳුවීමට ප්රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්මයෙන් විවෙචන කිරීමට ප්රතිබල වෙයි. අධිශීලයෙහි සමාදන් කරවීමට ප්රතිබල වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනුවට ප්රතිබල වෙයි. අධිප්රඥායෙහි සමාදන් කරවනුවට ප්රතිබල වේ. උපාලි, මේ දසදහමින් සමන්වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු වේ.
10. 1. 4. 5.
නිස්සය සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් කරුණින් සමන්වාගත මහණහු විසින් නිඃශ්රය දියයුතු දැයි?
උපාලි, දස කරුණෙකින් සමන්වාගත මහණහු විසින් නිඃශ්රය දිය යුත්තේය. කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදෙහි හික්මෙයි ... බහුශ්රුත වෙයි. ... දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලදහ. ඔහට ප්රාතිමෝක්ෂය විතර විසින් ස්වාගත වෙයි. සූත්ර විසින් අනුව්යඤ්ජන විසින් සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වෙයි. ගිලන් උවටනුවට වේවයි උවටවනුවට වේවයි සමර්ත්ථ වෙයි. උකටලී බව් සන්හිඳුවනට හෝ සන්හිඳුවිම් කරවනුවට සමර්ත්ථ වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලනුවට සමර්ත්ථ වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්මයේන දුරැලීමට ප්රතිබල වෙයි. අධිශීලයෙහි ... අධිචිත්තයෙහි ... අධිප්රඥායෙහි සමාදන් කරනුවට සමර්ත්ථ වෙයි. උපාලි, මේ දසදහමින් සමන්වාගත වූ භික්ෂූහු විසින් නිඃශ්රය දියයුතු වේ.