10. 1. 2. 9.
පඨමාරියවාස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු හෝ වසත් හෝ වසන්නාහු හෝ නම්, මේ දස ආර්‍ය්‍යවාස කෙනෙක, කවර දශයෙක යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ පඤ්චාඞ්ග විප්‍රහීණ වූයේ ෂඩඞ්ගසමන්‍වාගත වූයේ ඒකාරක්‍ෂා ඇතියේ සතර අපස්සේනයන් ඇතියේ බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍ය ඇතියේ වුහුටු හැම ඒසනා ඇතියේ නො කැලඹුණු සංකල්පනා ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ මොනොවට මිදුණු සිත් ඇතියේ මොනොවට මුත් පැන ඇතියේ වෙයි. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයන් ආර්‍ය්‍යයෝ වුසූහු නම් වසත් නම් වසන්නාහු නම්, මේ ඒ දශ ආර්‍ය්‍යවාසයයි.
10. 1. 2. 10.
දෙවෙනි ආරියවාස සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වාසය කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි. ආර්‍ය්‍යයෝ යම් වාසයෙකැ වුසූහු ද වෙසෙත් ද වසන්නාහු ද මේ ඒ ආර්‍ය්‍යයෝ දශයෙක, කවර දශයෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි. ඡළඞ්ගසමන්නාගත වෙයි. ඒකාරක්ඛ වෙයි. චතුරාපස්සේන වෙයි. පනුණ්ණපච්චේකසච්ච වෙයි. සමවයසට්ඨෙසන වෙයි. අනාවිල සඞ්කප්ප වෙයි. පස්සද්ධකායසඞ්කාර වෙයි. සුවිමුත්තචිත්ත වෙයි. සුවිමුත්තපඤ්ඤ වෙයි.
1. මහණෙනි, කෙසේ නම් මහණ පඤ්චඞ්ගවිප්පහීන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණය වෙයි, ව්‍යාපාදය ප්‍රහීණය වෙයි, ථිනමිද්ධය ප්‍රහීණය වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණය වෙයි, විචිකිච්ඡා ප්‍රහීණය වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි.
2. මහණෙනි, කිසෙයින් මහණ ඡළඞ්ගසමන්නාගත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස්ප්‍රසාදයෙන් රූපාලම්බනයක් දැක නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂායෙන් යුක්ත වූයේ ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වාසය කරයි. ශ්‍රෝත්‍රප්‍රසාදයෙන් ශබ්දාලම්භනය අසා - ඝ්‍රාණප්‍රසාදයෙන් ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කොට - ජිහ්වාප්‍රසාදයෙන් රසාලම්බනය විඳ - කායප්‍රසාදයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය පැහැස - මනසින් ධර්‍මාලම්බනය දැන නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වසයි. මහණෙනි, මෙසේ මහණ ඡළඞ්ගසමන්නාගත වෙයි.
3. මහණෙනි, කිසෙයින් මහණ ඒකාරක්ඛ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘතිය ආරක්‍ෂා කොට ඇති සිතින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ ඒකාරක්ඛ වෙයි.